3. 3. 9.
[ධාතුසංස්‍යන්‍දන සූත්‍රය]
78. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ධාතුවශයෙන් අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වෙත්. එක් සිත් ඇති ව සමාගමයට පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා එක් වෙත්. ඔවුනොවුන් භජනය කරත්. කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇත්තවුන් හා එක් වෙත්. භජනය කරත්.
මහණෙනි, ඉකුත් කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වූහ. සමාගමයට පැමිණියහ. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇත්තවුන් හා ද එක් වූහ. සමාගමයට පැමිණියහ.
මහණෙනි, මතු කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වන්නාහ. සමාගමයට පැමිණෙන්නාහ. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇති සත්ත්‍වයන් හා ද එක් වන්නාහ. සමාගමයට පැමිණෙන්නාහ.
මහණෙනි, මෙ කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වෙත්. සමාගමයට පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇති සත්ත්‍වයන් හා ද එක් වෙත්. සමාගමයට පැමිණෙත්.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “(සහවාසාදි වශයෙන්) සමායෝගයෙන් උපන් කෙලෙස් අසමායොගයෙන් (පාපසේවන ප්‍රතික්‍ෂෙපයෙන් ද සමුච්ඡේද විවේකයෙන් ද) ප්‍රහීණ වේ. දැවමුවා කුඩා පසුරක් නැග මහසයුරෙහි යනුයේ යම්සේ ගිලා බස්නේ ද,
3. එමෙන් ම කුසීත පුද්ගලයා හා සමාගමයට පැමිණීමෙන් ආජීවයෙන් හා ශීලයෙන් යහපත් වූ සාධුජීවී පුද්ගල තෙමේ ද සසර සයුරෙහි ගිලා බසී. එහෙයින් කුසීත වූ වීර්‍ය්‍ය නැති ඔහු දුරු කරන්නේ ය.
4. කායවිවේකාදියෙන් ප්‍රකර්‍ෂවිවේක ඇති, දුරු කරන ලද කෙලෙස් ඇති නිවණ කරා මෙහෙයූ සිත් ඇති, වඩන ලද ධ්‍යාන ඇති, සැම කල්හි පටන් ගත් වීර්‍ය්‍ය ඇති නුවණැත්තේ හා එක් වැ වසන්නේ ය.”
මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
3. 3. 10.
[පරිහාණ සූත්‍රය]
79. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ ධර්‍මයෝ තිදෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්. කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, මේ සසුන්හි සේඛ මහණ තෙමේ කර්‍මාන්තයන්හි ඇලුනේ, කර්‍මාන්තයන්හි නිරත වූයේ කර්‍මාන්තාභිරතියෙහි යෙදුනේ, කථායෙහි ඇලුනේ, කථා මාර්‍ගයෙහි නිරත වූයේ කථාභිරතියෙහි යෙදුනේ, නිදීමෙහි ඇලුනේ, නිදීමෙහි නිරත වූයේ, නිද්‍රාභිරතියෙහි යෙදුනේ වේ ද, මහණෙනි, මේ ධර්‍මයෝ තිදෙන ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්.
මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවත්නා මේ ධර්‍මයෝ තිදෙනෙක් වෙත්, කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, මේ සසුන්හි ශෛක්‍ෂ භික්‍ෂු තෙමේ කර්‍මාන්තයන්හි නො ඇලුනේ; කර්‍මාන්තයන්හි නිරත නො වූයේ, කර්‍මාන්තාභිරතියෙහි නො යෙදුනේ, කථායෙහි නො ඇලුනේ, කථායෙහි නිරත නො වූයේ, කථාභිරතියෙහි නො යෙදුනේ, නිදීමෙහි නො ඇලුනේ, නිදීමෙහි නිරත නො වූයේ, නිද්‍රාභිරතියෙහි නො යෙදුනේ වේ ද, මහණෙනි, මේ ධර්‍මයෝ තුන් දෙන ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස පවතිත්.
මෙසේ මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.
2. “කර්‍මාන්තයන්හි ඇලුනාවූ කථා මාර්‍ගයෙහි ඇලුනාවූ, නිද්‍රායෙහි ඇලුනාවූ, නොසංසුන් සිත් ඇති මෙ බඳු මහණ තෙම, උතුම් අර්‍හත්ත්‍වඵල සඞ්ඛ්‍යාත සම්‍යක් සම්බෝධිය ස්පර්‍ශ කරන්නට සුදුස්සෙක් නො වේ.
3. එහෙයින් අල්ප කෘත්‍ය ඇත්තෙක් ද, නිද්‍රා රහිතයෙක් ද, සංහුන් සිත් ඇත්තෙක් ද වන්නේ ය. එබඳු ඒ මහණ තෙමේ අර්‍හත්ත්‍වඵල සඞ්ඛ්‍යාත සම්‍යක් සම්බෝධිය ස්පර්‍ශ කරන්නට සුදුස්සෙක් වන්නේ ය.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
තුන්වැනි වර්‍ගය යි.
එහි උද්දානය:
දිට්ඨි දෙක, නිස්සරණ, රූප, අවුට්ඨික, සුඛ, භින්‍දන (භිදුර), ධාතුසංසන්‍දන, පරිහාණ සූත්‍රයැ යී ඔහු දස දෙනෙක.