සූත්‍රාන්තපිටකයෙහි
දික් සඟිය
සීලස්කන්‍ධ වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
1.
බ්‍රහ්මජාල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් බික්සඟන සමඟ රජගහනුවරටත් නාලන්‍දා නුවරටත් අතරෙහි දීර්‍ඝමාර්‍ගයට පිළිපන්සේක් වෙති. සුප්පිය නම් පිරිවැජියාත් බඹදත් නම් තරුණ අතැවැස්සා සමඟ රජගහ නුවරටත් නාලන්‍දා නුවරටත් අතරැ වූ දික් මඟට පිළිපන්නේ වේ.
එහි දී සුප්පිය පිරිවැජි නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේට දොස් කියයි, ධර්‍මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් ඔහුගේ අතැවැසි තරුණ බඹදත් තෙමේ නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේ පසසයි, ධර්‍මය පසසයි, සංඝයා පසසයි. මෙසේ ඒ ඇදුරු අතැවැසි දෙදෙන එකෙක් අනෙකාට ඉඳුරා ම විරුද්ධවාද ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේත් බික්සඟපිරිසත් අනුව ගියෝ වෙත්.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරයෙහි (රජ ගෙහි) බික්සඟන සමඟ එක් රැයක් නවාතැනට එළැඹිසේක. බඹදත් නම් තරුණ අතැවැස්සා හා සුප්පිය පිරිවැජ්ජාත් එක් රැයක් විසීමට එහි ම එළැඹියේ ය. එහි දී ද සුප්පියපිරිවැජ්ජා නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේට නින්‍දා කෙරෙයි, ධර්‍මයට නින්‍දා කෙරෙයි, සංඝයාට නින්‍දා කෙරෙයි. ඔහුගේ අතැවැසි තරුණ බඹදතා නොයෙක් කරුණින් බුදුගුණ කියයි, දහම්ගුණ කියයි, සඟගුණ කියයි. මෙසේ ඒ ඇදුරු අතැවැසි දෙදෙනා එකෙක් අනෙකාට ඉඳුරා ම විරුද්ධවාද ඇත්තෝ වැ වෙසෙත්.
3. ඉක්බිති රෑ අලුයම්හි නැගී සිටි, නිෂීදන ශාලායෙහි රැස් වැ හුන් බොහෝ භික්‍ෂූන් අතරැ මේ කථාව පහළ විය: “ඇවැත්නි, සත්ත්‍වයන්ගේ ආශයානුශයයන් දක්නා, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ එකකු අනෙකකුට වෙනස් අදහස් ඇති නියාව කොතරම් මැනවින් සියල්ල දන්නා ලද්දේ ද යන මෙය ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. මේ සුප්පියපිරිවැජියා වනාහි නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේට දොස් කියයි, ධර්‍මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් මොහු තරුණ අතැවැසි බඹදත් තෙමේ නොයෙක් කරුණින් බුදු ගුණ කියයි, දහම් ගුණ කියයි, සඟ ගුණ කියයි. මෙසේ මේ ඇදුරු අතැවැසි දෙදෙන එකෙක් අනෙකාට ඉඳුරා විරුද්ධකථා ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂුසංඝයාත් පසුපස්සෙහි ගියෝ වෙති” යනු යි.
4. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ගේ මේ කථාව දැන, නිෂීදනශාලාව කරා එළැඹිසේක. එළැඹ, පණවන ලද අස්නෙහි හිඳගත් සේක. හිඳ ගෙන ම, භික්‍ෂූන් අමතා “මහණෙනි, තෙපි දැන් කවර කථාවෙකින් හුන්නෝ වහු ද? කවර නම් අතුරු කථාවෙක් තොප විසින් අඩාළ කරන ලද දැ?” යි විචාරා වදාළ සේක.
මෙසේ වදාළ කල්හි, ඒ භික්‍ෂුහු “වහන්ස, මෙහි රෑ අලුයම්හි නැගී සිටි, නිෂීදනශාලායෙහි රැස් ව හුන් අප අතරැ මේ කථාව පහළ විය: ‘ඇවැත්නි, සත්ත්‍වයන්ගේ ආශයානුශය දන්නා, සියල්ල දක්නා, ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්‍වයන් එකකු අනෙකකුට වෙනස් අදහස් ඇති නියා කොතරම් මැනවින් දන්නා ලද ද’ යන මෙය ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේට දොස් කියයි, ධර්‍මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් ඔහු තරුණ අතැවැසි බඹදතා නොයෙක් කරුණින් බුදුගුණ කියයි, දහම්ගුණ කියයි, සඟගුණ කියයි. මෙසේ මේ ඇදුරු අතැවැසි දෙදෙනා එකෙක් අනෙකාට ඉඳුරා විරුද්ධ කථා ඇති වැ භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂු සංඝයාත් පසුපස්සෙහි ගියෝ වෙති” යි, වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ විය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙහි එළැඹි සේකැ”යි භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.
5. (ඒ භික්‍ෂූන්ගේ කථාව අසා භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්) “මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්‍මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත්, ඒ තන්හි දී තොප විසින් කෝප නො ඉපැදැවියැ යුතු ය. නොසතුට නො ම ඉපැදැවියැ යුතු ය. සිතැ අමනාප බව නොකට යුතු ය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්‍මයට හෝ දොස් කියතොත් සඞ්ඝයාට හෝ දොස් කියතොත් ඒ දොස් කීමෙහි තෙපි කිපෙන්නහු නම්, නොසතුටු හෝ වන්නහු නම්, එයින් තොපට ම (තොපගේ ම ධ්‍යානලාභාදියට) අන්තරාය (බාධා) වන්නේ ය. “මහණෙනි, අනුන් මට හෝ ධර්‍මයට හෝ සංඝයාට හෝ දොස් නගතොත්, එහි තෙපි කුපිත වන්නහු නම්, එසේ කල්හි තෙපි ඒ අනුන් කී දෑ සුභාෂිත ද (සත්‍ය කථාවෙක් ද) නැතහොත් දුර්‍භාෂිත ද (අසත්‍ය කථාවෙක් දැ) යි දැනැ ගත හැකි වන්නහු දැ?” යි ප්‍රශ්න කළ සේක.
“වහන්ස, මෙය නොවන්නේ ම යැ (කිපුණොත් කියන කථාවේ ඇත්ත නැත්ත දැන ගත හැකි නො වන්නමෝ මැ යැ)” යි ඒ භික්‍ෂූහු උත්තර දුන්හ.
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මහණෙනි, අනුන් මට හෝ ධර්‍මයට හෝ සංඝයාට හෝ දොස් කියතොත්, එහි තොප විසින් ‘මේ කාරණයෙනුත් මෙය අභූතයෙකි. මේ කාරණයෙනුත් මෙය අසත්‍යයෙකි. මේ කියන දෝෂය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි අවිද්‍යාමාන යැ’ යි නැති දොස් නැති සැටියට ම ලිහා ඉවත් කළ යුතු ය”.