ඉතිවුත්තක පෙළ
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
ඒකක නිපාතය
ප්‍රථම වර්‍ගය
1. 1. 1.
ලෝභ සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශ ධර්‍මයක් පහ කරවු. (එසේ ඇති කල්හි) මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, ලෝභ (කාමරාගය) නම් වූ එක ම සංක්ලේශ ධර්‍මය පහ කරවු.(එසේ ඇති කල්හි) මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් ලෝභයෙකින් ඇලුනා වු සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ලෝභය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ලෝභය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මා විසින් අසන ලදි.
1. 1. 2.
දොස සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද? යත්: මහණෙනි, ද්වේෂ නම් වූ එක ම සංක්ලේශධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් ද්වේෂයකින් දූෂිත වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ද්වේෂය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ද්වේෂය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදි.
1. 1. 3.
මෝහ සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්:
මහණෙනි, මෝහ නම් වූ එක ම සංක්ලේශ ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් මොහයෙකින් මුළා වු සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ මෝහය සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මෝහය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 4.
කෝධ සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි: මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශ ධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, ක්‍රෝධ නම් වූ මේ එක ම සංක්ලේශ ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා (ගාථා වශයෙන්) මෙය මෙසේ කියනු ලැබේ:
2. “යම් ක්‍රෝධයෙකින් කිපියා වු සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ක්‍රෝධය සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ක්‍රෝධය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 5.
මක්ඛ සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය: මෙසේ මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, ම්‍රක්‍ෂ (මකු බව) නම් වූ මේ එක ම ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.