සූත්‍ර පිටකයෙහි
කුදුගත් සඟිය
(ප්‍රථම ග්‍රන්‍ථය)
ඛුද්දකපාඨ පෙළ
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. ශරණගමනය
බුදුරජුන් සරණයෙමි (පිහිට යැ යි දැන ගණිමි.)
දහම් සරණ යෙමි (පිහිට යැ යි දැන ගණිමි.)
සඟ සරණ යෙමි (පිහිට යැ යි දැන ගණිමි.)
දෙවනු ද බුදුරජුන් සරණ යෙමි.
දෙවනු ද දහම් සරණ යෙමි.
දෙවනු ද සඟ සරණ යෙමි.
තෙවනු ද බුදුරජුන් සරණ යෙමි.
තෙවනු ද දහම් සරණ යෙමි.
තෙවනු ද සඟ සරණ යෙමි.
ශරණගමනය යි.
2. දසසිකපද
පණිවායෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
අයිනා දනින් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
මෙවුන්දමින් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
අබ්‍රම්සරින් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
මුස වායෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
මදයටත් ප්‍රමාදයටත් හේතු වූ රහමෙර පීමෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
විකල් බොජුනෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
නටනු ගයනු වයනු විසුළුදස්නෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
අඩු තැන් පිරවීමටත් සැරසීමටත් කරුණු වූ මල් ගඳ විලෙවුන් දැරීමෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
උසසුන්මහස්නෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
දසසිකපද යි.
3. දෙතිස් ආකාරය
මේ සිරුරෙහි කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය, මස් ය, නහර ය, ඇට ය, ඇටමිඳුලු ය, වකුගඩු ය, හදවත ය, අක්මාව ය, දලබුව ය, බඩදිව ය, පපුමස ය, අතුනුවැටිය ය, අතුනුබහන් ය, උදරිය (උදරයෙහි වූ නො පැසුණු අහර පැන් ආදිය) ය, වසුරු ය, පිත ය, සෙම ය, පූයා ය, ලේ ය, ඩහදිය ය, හැසුනු (මිදි ගිය) තෙල් ය, කඳුළු ය, වුරුණු (දිය ව ගිය) තෙල් ය, කෙල ය, මුකුණු (සොටු) ය, සඳමිඳුලු ය, මුත්‍ර ය, හිස් කබල් තුළ පිහිටි මිඳුලු රැස ය යන දෙතිස් කුණුප කොටස් කෙනෙක් ඇත්තාහ.
දෙතිස් ආකාර යි.
4. කුමාරප්‍රශ්න
එක නම් කිම? සියලු සත්හු අහරින් සිටින්නෝ ය.
දෙක නම් කිම? නම් රූ දෙක ය.
තුන නම් කිම? (සුඛ දුඃඛ උපේක්‍ෂා යන) තුන් වේදනාවෝ ය.
සතර නම් කිම? (දුඃඛ සමුදය නිරෝධ මාර්‍ග යන) සතර ආර්‍ය සත්‍යයෝ ය.
පස නම් කිම? (රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන) උපාදානස්කන්‍ධ පස ය.
සය නම් කිම? (චක්ඛු සෝත ඝාන ජිව්හා කාය මන යන) තමා කෙරෙහි වූ ආයතන සය ය.
සත නම් කිම? (සති ධම්මවිචය පීති විරිය පස්සද්ධි සමාධි උපෙක්ඛා යන) බෝධ්‍යඞ්ග සත ය.
අට නම් කිම? (සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසාමාධි යන) ආර්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ය.
නවය නම් කිම? (නානත්තකාය නානත්තසඤ්ඤි ය, නානත්තකාය ඒකත්තසඤ්ඤි ය, එකත්තකාය නානත්තසඤ්ඤි ය, එකත්තකාය ඒකත්තසඤ්ඤි ය, අසඤ්ඤි ය, අකාසානඤ්චායතනූපග ය, විඤ්ඤාණඤ්චායතනූපග ය, ආකිඤ්චඤ්ඤායතනූපග ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග ය යන) සත්ත්‍වාවාස නවය ය.
දශය නම් කිම? (අසේඛ සම්මාදිට්ඨි ය, අසේඛ සම්මාසඞ්කප්ප ය, අසේඛ සම්මාවාචා, අසේඛ සම්මාකම්මන්ත ය, අසේඛ සම්මාආජීව ය, අසේඛ සම්මාවායාම ය, අසේඛ සම්මාසති ය, අසේඛ සම්මාසාමාධි ය, අසේඛ සම්මාඤාණ ය, අසේඛ සම්මාවිමුත්තිය යන) අඞ්ග දශයෙන් යුත් වූයේ රහත් තෙමේ ය යි කියනු ලැබේ.
කුමාරප්‍රශ්න යි.