3. 3. 10.
[පරිහාණ සූත්රය]
79. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ ධර්මයෝ තිදෙනෙක් ශෛක්ෂ භික්ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්. කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, මේ සසුන්හි සේඛ මහණ තෙමේ කර්මාන්තයන්හි ඇලුනේ, කර්මාන්තයන්හි නිරත වූයේ කර්මාන්තාභිරතියෙහි යෙදුනේ, කථායෙහි ඇලුනේ, කථා මාර්ගයෙහි නිරත වූයේ කථාභිරතියෙහි යෙදුනේ, නිදීමෙහි ඇලුනේ, නිදීමෙහි නිරත වූයේ, නිද්රාභිරතියෙහි යෙදුනේ වේ ද, මහණෙනි, මේ ධර්මයෝ තිදෙන ශෛක්ෂ භික්ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්.
මහණෙනි, ශෛක්ෂ භික්ෂුහුගේ නොපිරිහීම පිණිස පවත්නා මේ ධර්මයෝ තිදෙනෙක් වෙත්, කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, මේ සසුන්හි ශෛක්ෂ භික්ෂු තෙමේ කර්මාන්තයන්හි නො ඇලුනේ; කර්මාන්තයන්හි නිරත නො වූයේ, කර්මාන්තාභිරතියෙහි නො යෙදුනේ, කථායෙහි නො ඇලුනේ, කථායෙහි නිරත නො වූයේ, කථාභිරතියෙහි නො යෙදුනේ, නිදීමෙහි නො ඇලුනේ, නිදීමෙහි නිරත නො වූයේ, නිද්රාභිරතියෙහි නො යෙදුනේ වේ ද, මහණෙනි, මේ ධර්මයෝ තුන් දෙන ශෛක්ෂ භික්ෂුහුගේ නො පිරිහීම පිණිස පවතිත්.
මෙසේ මෙ කරුණ භාග්යවත්හු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.
2. “කර්මාන්තයන්හි ඇලුනාවූ කථා මාර්ගයෙහි ඇලුනාවූ, නිද්රායෙහි ඇලුනාවූ, නොසංසුන් සිත් ඇති මෙ බඳු මහණ තෙම, උතුම් අර්හත්ත්වඵල සඞ්ඛ්යාත සම්යක් සම්බෝධිය ස්පර්ශ කරන්නට සුදුස්සෙක් නො වේ.
3. එහෙයින් අල්ප කෘත්ය ඇත්තෙක් ද, නිද්රා රහිතයෙක් ද, සංහුන් සිත් ඇත්තෙක් ද වන්නේ ය. එබඳු ඒ මහණ තෙමේ අර්හත්ත්වඵල සඞ්ඛ්යාත සම්යක් සම්බෝධිය ස්පර්ශ කරන්නට සුදුස්සෙක් වන්නේ ය.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
තුන්වැනි වර්ගය යි.
එහි උද්දානය:
දිට්ඨි දෙක, නිස්සරණ, රූප, අවුට්ඨික, සුඛ, භින්දන (භිදුර), ධාතුසංසන්දන, පරිහාණ සූත්රයැ යී ඔහු දස දෙනෙක.
සිවුවන වර්ගය
3. 4. 1.
[විතර්ක සූත්රය]
80. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ අකුශල විතර්කයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් යත්: මෙරමාගෙන් අවඥා ලබනු නොකැමැති බව හා එක්ව යෙදුනු විතර්කය, ලාබ සත්කාර කීර්ති යන මොවුන් අරමුණු කිරීම් වශයෙන් ඇසුරු කළ විතර්කය, පරානුකම්පා ස්වරූප ගෙහසිතප්රේමය හා එක් ව යෙදුනු විතර්කය යන තිදෙන යි. මහණෙනි, මේ තිදෙනා අකුශල විතර්කයෝ වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “අනුන් විසින් තමහට අවඥා කිරීම නො කැමැත්තෙන් යුක්ත වූ, ලාභ සත්කාරයන් ගරු කොට ගන්නා වූ රාජාමාත්යාදීන් හා අනනුලෝමික ගෘහීසංසර්ගයෙන් සතුටු වන (පුඟුල් තෙම) සංයෝජනක්ෂය කෙරෙන් (හෙවත් රහත්බව කෙරෙන්) දුරෙහි වේ.
3. යමෙක් වනාහි අඹුදරුවන් හා සිවුපාවන් ද ආවාහවිවාහයන් ද පරිජනසඞ්ග්රයන් ද හැර දමා (සිටියේ) ද එබඳු වූ ඒ මහණ තෙමේ උතුම් සම්බෝධිය ස්පර්ශ කරන්නට (රහත්බවට පැමිණීමට) සුදුසු ය.”
භාග්යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 4. 2.
[සත්කාර සූත්රය]
81. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සත්කාර හේතුවෙන් මඩනා ලද, ක්ෂයට පැමිණැ වූ කුසල් සිත් ඇති, ශරීර භේදයෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයෙහි උපන්නාවූ සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, අසත්කාර හේතුවෙන් මඩනා ලද, ක්ෂයට පැමිණැවූ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, සත්කාර හේතුවෙන් ද අසත්කාර හේතුවෙන් ද යන ඒ දෙකින් ම මඩනා ලද ක්ෂේපිත කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්වයෝ මා විසින් දක්නා ලදහ.