තික නිපාතය
පඨම වර්‍ගය
3. 1. 1.
[අකුසල මූල සූත්‍රය]
50. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ අකුශලමූලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: ලෝභය අකුසල්මුලකි. ද්වේෂය අකුසල්මුලකි. මෝහය අකුසල්මුලකි. මහණෙනි, මේ අකුශලමූලයෝ තිදෙන වෙත්.
භගවත්හු මෙකරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සිත්හි හටගත් ලෝභ ද්වේෂ මෝහ යන මොහු පව් අදහස් ඇති පුරුෂයා පෙළත්. (කුමක් මෙන් ද යත්:) ස්වකීය ඵලය ත්‍වක්සාර වෘක්‍ෂය (හුණ බට ආදි පොත්ත අරටුව කොට ඇති) ගස නසන්නාක් මෙනි.”
මේ කරුණ භගවත්හු වදාළහ. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 2.
[ධාතු සූත්‍රය]
51. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ ධාතූහු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: රූපධාතුය, අරූපධාතුය, නිරෝධ ධාතුය. මහණෙනි, මේ ධාතූහු තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් කෙනෙක් රූපභවය පිරිසිඳ දැන අරූප භවයෙහි නොපිහිටියාහු නිර්‍වාණය අරමුණු කොට (කෙලෙසුන්ගෙන්) මිදෙත් ද, ඒ ක්‍ෂීණාස්‍රවයෝ මරණය ඉක්මවූවෝ වෙත්.
3. ආස්‍රවරහිත වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ උපධි රහිත වූ නිර්‍වාණය (නාම) කයින් ස්පර්‍ශ කොට, උපධීන්ගේ බැහැරලීමේ කාරණය ප්‍රත්‍යක්‍ෂ කොට ශෝකරහිත වූ. රජස් රහිත වූ නිර්‍වාණපදය දක්වන සේක.”
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 3.
[ප්‍රථම වේදනා සූත්‍රය]
52. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ වේදනාවෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: සැප වේදනාය දුක් වේදනාය නො දුක් නො සැප (මැදහත්) වේදනාය යන මොහු යි. මහණෙනි, මේ වේදනාවෝ තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “එකඟ සිත් ඇති, සම්‍යක්ප්‍රඥා ඇති, සිහි ඇති බුද්ධශ්‍රාවක තෙමේ වේදනාවන් ද ඔවුන්ගේ හටගැන්ම ද දනී.
3. යම් තැනෙක්හි මේ වේදනාවෝ නිරුද්ධ වෙත් නම් (ඒ නිවණ ද) වේදනාක්‍ෂයගාමී වූ මාර්‍ගය ද (දනී). මහණ තෙමේ වේදනාවන් ක්‍ෂය කිරීමෙන් ආශාරහිත වූයේ පිරිනිවියේ වෙයි.
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 4.
[දෙවෙනි වේදනා සූත්‍රය]
53. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙට වදාරණ ලද්දේ ම ය. අර්‍හත් බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ වේදනාවෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: සැප වේදනාය, දුක් වේදනාය, නොදුක් නොසැප (මැදහත්) වේදනාය යන මොහුයි.
මහණෙනි, සැපවෙදනාව (විපරිණාම) දුක් වශයෙන් දැක්ක යුතු ය. දුක් වේදනාව (පීඩනාර්‍ත්‍ථයෙන්) හුල් වශයෙන් දැක්ක යුතු ය. නොදුක් නොසැප වේදනාව අනිත්‍ය වශයෙන් දැක්ක යුතු ය. මහණෙනි, යම් හෙයකින් මහණ සැප වේදනාව දුක් වශයෙන් දක්නා ලද ද, දුක් වේදනාවහුල් වශයෙන් දක්නා ලද ද, නොදුක් නොසැප වේදනාව අනිත්‍ය වශයෙන් වශයෙන් දක්නා ලද ද, මහණෙනි, මේ මහණ තෙම ආර්‍ය්‍ය යැ යි ද, සම්‍යග් දර්ශී යැ යි ද කියනු ලැබේ. හෙ තෙමේ තෘෂ්ණාව සිඳැ ලීය. සංයෝජන පෙරළා ලීය. මනා කොට මානයාගේ දර්‍ශනප්‍රහාණාභිසමයයෙන් (සියලු) දුක් කෙළවර කෙළේ ය.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමෙක් සැපවෙදනාව දුක් වශයෙන් දුටුයේ ද, දුක්වේදනාව හුල් වශයෙන් දුටුයේ ද, නොදුක් නොසැප ශාන්ත වූ ඒ වේදනාව අනිත්‍ය වශයෙන් දුටුයේ ද, ඒ මහණ තෙම ඒකාන්තයෙන් සම්‍යක්දර්ශී නම් වෙයි. යම් හෙයෙකින් ඒ වේදනායෙහි සමුච්ඡේද වශයෙන් මිදේ ද (එහෙයිනි).
3. විශිෂ්ටඥානයෙන් දැන නිමවන ලද කෘත්‍ය ඇති ශාන්ත වූ ඒ රහත් මහණ තෙමේ ඒකාන්තයෙන් කාමාදි චතුර්යොගයන් ඉක්මවූයේ නම් වෙයි.
මෙ කරුණ ද භාග්‍යවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.