තෙවෙනි වර්‍ගය
3. 3. 1.
[මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන සූත්‍රය]
70. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, කායදුශ්චරිතයෙන් යුක්ත වූ වාග්දුශ්චරිතයෙන් යුක්ත වූ මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපදින්නාහු ය.
මහණෙනි, එ කරුණ මම අන් මහණ බමුණකුගෙන් අසා නො ම කියමි.
මහණෙනි, කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ, ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ, මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටිහේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපන්නාහු ය.
යලි දු මහණෙනි, යමක් තමා විසින් ම නුවණින් අවබෝධ කරණ ලද ද, තමා විසින් ම දක්නා ලද ද, තමා විසින් ම දන්නා ලද ද, එය ම මම කියමි.
මහණෙනි, කායවාග්මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපන්නාහු වෙති.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මෙ ලොව පුඟුල් තෙම සිත වැරැදි ලෙස පිහිටුවා, වැරැදි බස් තෙපලා, කයින් වැරැදි ක්‍රියා කොට,
3. මේ මිනිස් ලොවැ ජීවත් වන සුළු කාලය තුළ ඇසු පිරූ තැන් නැති අකුසල් කරණ, නුවණ නැති ඒ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු නරකයෙහි උපදී.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 2.
[සම්‍යග්දෘෂ්ටි කර්‍මසමාදාන සූත්‍රය]
71. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, කායසුචරිතයෙන් යුක්ත වූ වාක්සුචරිතයෙන් යුක්ත වූ මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා නොකරණ, සම්‍යග්දෘෂ්ටිකවූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනාගති ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියෝ වෙති.
මහණෙනි, එ කරුණ මම අන් මහණ බමුණකුගෙන් අසා නො ම කියමි.
මහණෙනි, කායසුචරිතයෙන් වාක්සුචරිතයෙන් මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා නොකරණ, සම්‍යග්දෘෂ්ටික වූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි ලෙස ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියාහු වෙති.
යලිදු මහණෙනි, යමක් තමා ම (නුවණින්) අවබෝධ කරණ ලද ද, තමා ම දක්නා ලද ද, තමා විසින් ම දන්නා ලද ද එය ම මම කියමි.
මහණෙනි, කාය වාග් මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට බොරුවෙන් චෝදනා නොකරණ සම්‍යග්දෘෂ්ටික වූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි ලෙස ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන්නාහු යැ යි.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මෙ ලොව පුඟුල් තෙම සිත මනා ලෙස පිහිටුවා යහපත් වචන කථා කොට කයින් හොඳ වැඩ කොට,
3. මේ මිනිස් ලොව ජීවත් වන සුළු කාලය තුළ ඇසූ පිරූ තැන් ඇති කුසල් කරණ, නුවණැති ඒ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) පැමිණේ.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.