3. 3. 8.
[භිදුර සූත්‍රය]
77. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ සිරුර බිඳෙන සුලු ය. විඤ්ඤාණය (ත්‍රෛභූමකකුශලාදි චිත්තය) නැසෙන සුලු ය. සියලු උපධීහු අනිත්‍යයහ. දුඃඛයහ පෙරළෙන ස්වභාව ඇත්තාහු ය.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සිරුර බිඳෙන සුලු ය යි ද, සිතත් බිඳෙන සුලු ය යි ද දැන උපධීන්හි බිය දැක ඉපදීම හා මරණය ඉක්මියේ ය. (රහත්වූයේ ය.) උතුම්වූ ශාන්තියට (නිර්‍වාණයට) පැමිණ භාවනා වශයෙන් වඩනා ලද අත්බව් (ශීලසමාධිප්‍රඥා) ඇත්තේ තමාගේ පරිනිර්‍වාණ කාලය බලාපොරොත්තු වෙයි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
3. 3. 9.
[ධාතුසංස්‍යන්‍දන සූත්‍රය]
78. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ධාතුවශයෙන් අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වෙත්. එක් සිත් ඇති ව සමාගමයට පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා එක් වෙත්. ඔවුනොවුන් භජනය කරත්. කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇත්තවුන් හා එක් වෙත්. භජනය කරත්.
මහණෙනි, ඉකුත් කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වූහ. සමාගමයට පැමිණියහ. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇත්තවුන් හා ද එක් වූහ. සමාගමයට පැමිණියහ.
මහණෙනි, මතු කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වන්නාහ. සමාගමයට පැමිණෙන්නාහ. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇති සත්ත්‍වයන් හා ද එක් වන්නාහ. සමාගමයට පැමිණෙන්නාහ.
මහණෙනි, මෙ කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වෙත්. සමාගමයට පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇති සත්ත්‍වයන් හා ද එක් වෙත්. සමාගමයට පැමිණෙත්.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “(සහවාසාදි වශයෙන්) සමායෝගයෙන් උපන් කෙලෙස් අසමායොගයෙන් (පාපසේවන ප්‍රතික්‍ෂෙපයෙන් ද සමුච්ඡේද විවේකයෙන් ද) ප්‍රහීණ වේ. දැවමුවා කුඩා පසුරක් නැග මහසයුරෙහි යනුයේ යම්සේ ගිලා බස්නේ ද,
3. එමෙන් ම කුසීත පුද්ගලයා හා සමාගමයට පැමිණීමෙන් ආජීවයෙන් හා ශීලයෙන් යහපත් වූ සාධුජීවී පුද්ගල තෙමේ ද සසර සයුරෙහි ගිලා බසී. එහෙයින් කුසීත වූ වීර්‍ය්‍ය නැති ඔහු දුරු කරන්නේ ය.
4. කායවිවේකාදියෙන් ප්‍රකර්‍ෂවිවේක ඇති, දුරු කරන ලද කෙලෙස් ඇති නිවණ කරා මෙහෙයූ සිත් ඇති, වඩන ලද ධ්‍යාන ඇති, සැම කල්හි පටන් ගත් වීර්‍ය්‍ය ඇති නුවණැත්තේ හා එක් වැ වසන්නේ ය.”
මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.