3. 3. 7.
[සුඛප්රාර්ත්ථනා සූත්රය]
76. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැති පුරුෂ තෙමේ සිල් රක්නේ ය. කවර කරුණු තුණක් ද යත්: මට ප්රශංසාව ලැබේවා යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘මට වස්තූහු උපදිත්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිම්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැත්තේ සිල් රක්නේ ය.
මෙ කරුණ භාග්යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “නුවණැත්තේ ප්රශංසාව ද, වස්තුලාභය ද, පරලොවැ ස්වර්ගයෙහි සතුටු වීම ද (යන) සැප තුණ පතමින් සිල් රක්නේ ය.
3. ඉදින් හේ පව් නො කරන්නේ නුමුදු පව් කරන්නකු සෙව්නේ නම්, (සෙස්සන් විසින්) හේ පාපයෙහි සැක කටයුත්තේ වෙයි. ඔහුට අගුණ ද නැගෙයි. (පැතිරේ.)
4. යමෙක් යම් බඳු පුද්ගලයෙකු මිත්රයකු කෙරේ ද, යමකුත් සෙව්නේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් එබඳු ම වේ. ඔහු හා සහවාසය ද එබඳු ම වේ.
5. (කලින් කල තමන්) සේවනය කරණ (පියෙවින් පිරිසිදු) පුද්ගලයෙකු සේවනය කරණ (පාප) පුද්ගල තෙමේ ( ඒ පිරිසිදු පුද්ගලයා විසින් සංසර්ගවශයෙන්) නිති පහස්නා ලද්දේ, (තෙමේ ද) අන්යයා (ඒ පිරිසිදු පුද්ගලයා එසේම) නිති පහස්නේ විෂ පොවන ලද හීය (විෂ නොපෙවූ සෙසු) හී සමූහය (විෂයෙන්) ආලිප්ත කරන්නාක් මෙන් ඒ පිරිසිදු පුද්ගලයා පාපයෙන් තවරයි. (එ හෙයින්) නුවණැත්තේ පවින් තැවැරෙණුවට බියෙන් පාපමිත්රයන් ඇත්තේ නොවන්නේ ය.
6. යම් පුරුෂයෙක් කුණු මස් කුස තණයෙන් වෙළා ද (ඔතා ද), ඒ කුසතෘණයෝ ද දුගඳ විහිදුවත්. බාලජන සේවනය මෙ බඳු ය.
7. යම් මිනිසෙක් තුවරලා නම් සුගන්ධ ද්රව්යය කොළයෙකින් වෙළා ද, ඒ කොළ ද සුවඳ විහිදුවයි. පණ්ඩිතජන සේවනය ද එබඳු ය.
8. එ හෙයින් නුවණැත්තේ පත්රපුටයාගේ (දුර්ගන්ධ-සුගන්ධභාවයෙන්) තමා පිළිබඳ (අසත්පුරුෂ-සත්පුරුෂ සංසර්ග) ඵලය දැන අසත්පුරුෂ සේවනය නො කරන්නේ ය. සත්පුරුෂයන්ම සේවනය කරන්නේ ය. අසත්පුරුෂයෝ නිරයට පමුණුවත්. සත්පුරුෂයෝ සුගතියට පමුණුවත්.”
භාග්යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
3. 3. 8.
[භිදුර සූත්රය]
77. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ සිරුර බිඳෙන සුලු ය. විඤ්ඤාණය (ත්රෛභූමකකුශලාදි චිත්තය) නැසෙන සුලු ය. සියලු උපධීහු අනිත්යයහ. දුඃඛයහ පෙරළෙන ස්වභාව ඇත්තාහු ය.
භාග්යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සිරුර බිඳෙන සුලු ය යි ද, සිතත් බිඳෙන සුලු ය යි ද දැන උපධීන්හි බිය දැක ඉපදීම හා මරණය ඉක්මියේ ය. (රහත්වූයේ ය.) උතුම්වූ ශාන්තියට (නිර්වාණයට) පැමිණ භාවනා වශයෙන් වඩනා ලද අත්බව් (ශීලසමාධිප්රඥා) ඇත්තේ තමාගේ පරිනිර්වාණ කාලය බලාපොරොත්තු වෙයි.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.