3. 3. 6.
[වෘෂ්ටි සූත්රය]
75. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනෙක් ලෝකයෙහි ඇත්තාහ විද්යාමානයහ. කවර තිදෙනෙක් ද යත්: අවුට්ඨිකසම (නොවස්නා වැසිවලාවක් වැනි) පුද්ගලයා ද, ප්රදේශවර්ෂී (පෙදෙසකට වස්නා වලාවක් වැනි) පුද්ගලයා ද, සර්වත්රවර්ෂී (හැමතැන්හි වස්නා වලාවක් වැනි) පුද්ගලයා ද යන තිදෙන යි.
මහණෙනි, කෙසේ නම පුද්ගල තෙමේ අවුට්ඨිකසම වේ ද? මහණෙනි, මේ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන (වණිබ්බක) යදි යන මේ සියල්ලන්ට ම ආහාර පාන වස්ත්ර යාන මල් ගඳ විලෙවුන් සෙනසුන් වසන ප්රදීප උපකරණ (යන මේ කිසිවක්) නො දෙන්නේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ වනාහි අවුට්ඨිකසම වෙයි.
මහණෙනි, පුද්ගල තෙමේ කෙසේ නම් ප්රදේශවර්ෂී වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන යදි යන මොවුන් අතුරෙන් ඇතැම් කෙනෙකුන්හට ආහාර පාන වස්ත්ර යාන මල් ගඳ විලෙවුන් සෙනසුන් ආවාස ප්රදීපෝපකරණ යන මේ දෑ දෙන්නේ වේ ද, ඇතැම් කෙනකුන්හට නො දෙන්නේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ ප්රදේශවර්ෂී නම් වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙමේ සර්වත්රවර්ෂී වේ ද? මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන යදි යන සියල්ලන්ට ම ආහාර පාන වස්ත්ර යාන මල් ගඳ විලෙවුන් සයනාසන ආවාස ප්රදීපෝපකරණ යන සියල්ල දෙයි ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ වනාහි සර්වත්රවර්ෂී නම් වේ. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලොව්හි ඇත්තාහ. විද්යාමානයහ.
මෙසේ මෙ කරුණ භාග්යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “(යම් පුද්ගලයෙක්) මහණ බමුණු දුගී මගී පුලනු යදි (යන මොවුන්) ලැබ ආහාරපානභෝජනයන් මනා කොට බෙදා නො දෙයි ද, (ඒ තද මසුරු) නිහීන පුද්ගලයා ඒකාන්තයෙන් අවුට්ඨිකසම (නොවස්නා වැසිවලාව වැනි) යයි (පණ්ඩිතයෝ) කියත්.
3. ඇතැම් කෙනකුන්හට නො දේ ද, ඇතැම් කෙනකුන්හට දේ ද, ඔහු ඒකාන්තයෙන් ප්රදේශවර්ෂී යයි නුවණැත්තෝ කියත්.
4. (සුලභ ආහාර ඇති බැවින්) සුභික්ෂ වචන ඇති, සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති, පුද්ගල තෙමේ තුටුපහටු සිත් ඇත්තේ (ප්රතිගාහක ක්ෂේත්රයෙහි) (දේයධර්මය) වගුරුවා ද, ‘දෙවු දෙවූ’ යැ යි කියා ද,
5. යම්සේ වනාහි මේඝය කුදු මහත් ගර්ජනා කොට වසී ද, ජලගැල්මෙන් උස්පහත් තැන් පුරවා ද,
6. එ පරිද්දෙන් මේ ලොව්හි එබඳුවූ ඇතැම් පුද්ගලයෙක් උත්ථානවීර්ය්යයෙන් ලබන ලද ධනය දහමින් රැස් කොට ගෙණ තමා වෙත පැමිණි යාචකයන් සතප්වයි.”
භාග්යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
3. 3. 7.
[සුඛප්රාර්ත්ථනා සූත්රය]
76. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැති පුරුෂ තෙමේ සිල් රක්නේ ය. කවර කරුණු තුණක් ද යත්: මට ප්රශංසාව ලැබේවා යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘මට වස්තූහු උපදිත්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිම්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැත්තේ සිල් රක්නේ ය.
මෙ කරුණ භාග්යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “නුවණැත්තේ ප්රශංසාව ද, වස්තුලාභය ද, පරලොවැ ස්වර්ගයෙහි සතුටු වීම ද (යන) සැප තුණ පතමින් සිල් රක්නේ ය.
3. ඉදින් හේ පව් නො කරන්නේ නුමුදු පව් කරන්නකු සෙව්නේ නම්, (සෙස්සන් විසින්) හේ පාපයෙහි සැක කටයුත්තේ වෙයි. ඔහුට අගුණ ද නැගෙයි. (පැතිරේ.)