3. 3. 5.
[පුත්ර සූත්රය]
74. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. මහණෙනි, මේ ලෝකයෙහි පුත්රයෝ තිදෙනෙක් ඇත්තාහු විද්යමාන වන්නාහු වෙත්. කවර තිදෙනෙක් ද යත්: අතිජාතය ය, අනුජාතය ය, අවජාතය ය (යන තිදෙන යි.)
මහණෙනි, කෙසේ නම් පුත්ර තෙම අතිජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්රයකුගේ මව් පිය දෙදෙන බුදුන් සරණ නොගියාහු, දහම් සරණ නොගියාහු, සඟුන් සරණ නොගියාහු වෙත් ද, ප්රාණඝාතයෙන් නොවැළකුනාහු, නුදුන් දෙය ගැන්මෙන් නොවැළකුනාහු, කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළකුනාහු, බොරු කීමෙන් නොවැළකුනාහු, මදයට ප්රමාදයට කරුණු වු රහමෙර පානයෙන් නොවැළකුනාහු, සිල් නැත්තාහු, ලාමක ධර්ම ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ පුත්ර තෙම බුදුන් සරණ කොට ගියේ, දහම් සරණ කොට ගියේ, සඟුන් සරණ කොට ගියේ වේ ද, ප්රාණඝාතයෙන්, නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුනේ වේ ද, සිල්වත් වේ ද, යහපත් ධර්ම ඇත්තේ වේ ද, මහණෙනි, මෙබඳු වූ පුත්ර තෙම අතිජාත නම් වේ.
මහණෙනි, පුත්ර තෙම කෙසේ නම් අනුජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්රයකුගේ මව්පිය දෙදෙන බුදුන් සරණ කොට ගියාහු, දහම් සරණ කොට ගියාහු, සඟුන් සරණ කොට ගියාහු , ප්රාණඝාතයෙන් වැළකුනාහු, නුදුන් දෙය ගැන්මෙන් වැළකුනාහු, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාහු, බොරු කීමෙන් වැළකුනාහු, මදයට ප්රමාදයට කරුණු වූ රහමෙර පීමෙන් වැළකුනාහු, සිල්වත් වූවාහු, කලණ දහම් ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ පුත්ර තෙමේ ද බුදුන් දහම් සඟුන් සරණ කොට ගියේ වේ ද, ප්රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුනේ වේ ද, සිල්වත් වේ ද, යහපත් ධර්ම ඇත්තේ (සම්යග්දෘෂ්ටියෙන් යුක්ත) වේ ද, මහණෙනි, මෙබඳු වූ පුත්ර තෙම අනුජාත නම් වේ.
මහණෙනි, කෙසේ නම් පුත්ර තෙමේ අවජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්රයකුගේ මව් පිය දෙදෙන බුදුන් සරණ ගියාහු, දහම් සරණ ගියාහු, සඟුන් සරණ ගියාහු වෙත් ද, ප්රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුනාහු, සිල්වත් වූවාහු කලණදහම් ඇත්තාහු වෙත් ද, එහෙත් ඔවුන්ගේ පුත්ර තෙමේ බුදුන් සරණ දහම් සරණ සඟුන් සරණ නො ගියේ වේ ද, ප්රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් නොවැළැකුනේ වේ ද, සිල් නැත්තේ, ලාමකධර්ම (හීනාචාර) ඇත්තේ වේ ද, මහණෙනි, මෙසේ වනාහි පුත්ර තෙමේ අවජාත නම් වේ. මහණෙනි, මේ පුත්රයෝ තිදෙන ලෝකයෙහි ඇත්තාහු විද්යමාන වන්නාහු වෙත් යි.
භාග්යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “නුවණැත්තෝ අතිජාත පුත්රයා ද, අනුජාත පුත්රයා ද කැමැති වෙත්. යම් පුත්රයෙක් කුලය වනසන්නේ වේ ද (ඒ) අවජාත පුත්රයා නො කැමැති වෙත්.
3. මොහු ම (මේ අතිජාතාදි තිදෙන) ලෝකයෙහි පුත්රයෝ නම් වෙති. යම් පුත්ර කෙනෙක් උපාසක වෙත් ද, ශ්රද්ධාවෙන් හා සීලයෙන් යුක්තයෝ (යාචකයන්ගේ) වදන් දන්නාහු, පහවූ මසුරුමල ඇත්තාහු වෙත් ද, (ඔවුහු ම) ඝන වලාකුළින් මිදුනු චන්ද්රයා මෙන් පිරිස් අතැරැ බබලත්.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 6.
[වෘෂ්ටි සූත්රය]
75. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනෙක් ලෝකයෙහි ඇත්තාහ විද්යාමානයහ. කවර තිදෙනෙක් ද යත්: අවුට්ඨිකසම (නොවස්නා වැසිවලාවක් වැනි) පුද්ගලයා ද, ප්රදේශවර්ෂී (පෙදෙසකට වස්නා වලාවක් වැනි) පුද්ගලයා ද, සර්වත්රවර්ෂී (හැමතැන්හි වස්නා වලාවක් වැනි) පුද්ගලයා ද යන තිදෙන යි.
මහණෙනි, කෙසේ නම පුද්ගල තෙමේ අවුට්ඨිකසම වේ ද? මහණෙනි, මේ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන (වණිබ්බක) යදි යන මේ සියල්ලන්ට ම ආහාර පාන වස්ත්ර යාන මල් ගඳ විලෙවුන් සෙනසුන් වසන ප්රදීප උපකරණ (යන මේ කිසිවක්) නො දෙන්නේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ වනාහි අවුට්ඨිකසම වෙයි.
මහණෙනි, පුද්ගල තෙමේ කෙසේ නම් ප්රදේශවර්ෂී වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන යදි යන මොවුන් අතුරෙන් ඇතැම් කෙනෙකුන්හට ආහාර පාන වස්ත්ර යාන මල් ගඳ විලෙවුන් සෙනසුන් ආවාස ප්රදීපෝපකරණ යන මේ දෑ දෙන්නේ වේ ද, ඇතැම් කෙනකුන්හට නො දෙන්නේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ ප්රදේශවර්ෂී නම් වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙමේ සර්වත්රවර්ෂී වේ ද? මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන යදි යන සියල්ලන්ට ම ආහාර පාන වස්ත්ර යාන මල් ගඳ විලෙවුන් සයනාසන ආවාස ප්රදීපෝපකරණ යන සියල්ල දෙයි ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ වනාහි සර්වත්රවර්ෂී නම් වේ. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලොව්හි ඇත්තාහ. විද්යාමානයහ.