3. 3. 2.
[සම්‍යග්දෘෂ්ටි කර්‍මසමාදාන සූත්‍රය]
71. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, කායසුචරිතයෙන් යුක්ත වූ වාක්සුචරිතයෙන් යුක්ත වූ මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා නොකරණ, සම්‍යග්දෘෂ්ටිකවූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනාගති ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියෝ වෙති.
මහණෙනි, එ කරුණ මම අන් මහණ බමුණකුගෙන් අසා නො ම කියමි.
මහණෙනි, කායසුචරිතයෙන් වාක්සුචරිතයෙන් මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා නොකරණ, සම්‍යග්දෘෂ්ටික වූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි ලෙස ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියාහු වෙති.
යලිදු මහණෙනි, යමක් තමා ම (නුවණින්) අවබෝධ කරණ ලද ද, තමා ම දක්නා ලද ද, තමා විසින් ම දන්නා ලද ද එය ම මම කියමි.
මහණෙනි, කාය වාග් මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට බොරුවෙන් චෝදනා නොකරණ සම්‍යග්දෘෂ්ටික වූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි ලෙස ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන්නාහු යැ යි.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මෙ ලොව පුඟුල් තෙම සිත මනා ලෙස පිහිටුවා යහපත් වචන කථා කොට කයින් හොඳ වැඩ කොට,
3. මේ මිනිස් ලොව ජීවත් වන සුළු කාලය තුළ ඇසූ පිරූ තැන් ඇති කුසල් කරණ, නුවණැති ඒ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) පැමිණේ.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 3.
[නිඃශරණිය සූත්‍රය]
72. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, නිශ්ශරණ (නික්මීම) ප්‍රතිසංයුක්ත වූ ධර්‍මයෝ තිදෙනෙත් වෙත්. කවර තිදෙනෙක් ද යත්: යම් මේ ප්‍රථමද්ධ්‍යානයෙක් වේ ද, මෙය කාමයන්ගේ නිඃශ්ශරණය යි (හෙවත් නික්මීම යි) යම් මේ අරූපාවචර ධ්‍යානයෙක් වේ ද, මෙය රූපයන්ගේ නිශ්ශරණය යි. (හේතු ප්‍රත්‍යයයෙන්) හටගත් එයින් ම රැස් කරණ ලද හේතු ප්‍රත්‍යයයෙන් උපන් යම් කිසිවක්, වේ ද, ඒ ධර්‍මයාගේ නිශ්ශරණය (පහවීම) නිරෝධය ය (නිවණ ය.) මහණෙනි, මේ නිශ්ශරණීය ස්වභාවයෝ තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “හැම කල්හි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති, කාමනිශ්ශරණය ද, රූපයන්ගේ අතික්‍රමය ද (අතික්‍රමොපායය ද) දැන සියලු සංස්කාරයන්ගේ සංසිඳීම (යැ යි කියන ලද නිර්‍වාණය) ස්පර්‍ශ කරන්නාවූ,
3. ඒ මහණ තෙම ඒකාන්තයෙන් සම්‍යග්දර්ශී නම් වෙයි. යම් හෙයකින් ඒ කාමයන්ගේ නිශ්ශරණයෙහි මිදේ ද (එ හෙයිනි.) විශිෂ්ට ඥානයෙන් දැන නිමවන ලද කෘත්‍ය ඇති ඒ රහත් මහණ තෙමේ කාමාදි චතුර්යොගයන් ඉක්මවූයේ නම් වෙයි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 4.
[ශාන්තතර සූත්‍රය]
73. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. මහණෙනි, අරූපාවචර ධර්‍මයෝ රූපාවචර ධර්‍මයනට වඩා ශාන්ත වෙත්. නිවණ අරූපාවචර ධර්‍මයනට වඩා ශාන්ත වෙයි.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “රූපභවයට උත්පත්ති වශයෙන් පැමිණි යම් සත්ත්‍ව කෙනෙක් වෙද්ද, අරූපභවයෙහි උපන් යම්, සත්ත්‍ව කෙනෙකුන් වෙද්ද, නිවණ නොදන්නාවූ (ඔවුහු) පුනරුත්පත්තියට (නැවත ඉපැත්මට) පැමිණෙන්නෝ වෙත්.
3. යම් සත්ත්‍ව කෙනෙක් රූපධර්‍මයන් පිරිසිඳ දැන අරූපධර්‍මයෙහි නො පිහිටියාහු, නිරෝධයෙහි (=නිර්‍වාණය අරමුණු කොට) කෙලෙසුන් කෙරෙන් මිදෙත් ද, ඒ ක්‍ෂීණාස්‍රවයෝ මරණය ඉක්මියෝ වෙත්.
4. ආස්‍රව රහිත වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ උපධිරහිත වූ නිර්‍වාණය (නාම) කයින් ස්පර්‍ශ කොට උපධීන්ගේ බැහැර ලීමේ කාරණය ප්‍රත්‍යක්‍ෂ කොට ශෝක රහිත වූ කෙලෙස් රජස් රහිත වූ නිර්‍වාණ පදය දෙසන සේක.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.