3. 3. 3.
[නිඃශරණිය සූත්රය]
72. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, නිශ්ශරණ (නික්මීම) ප්රතිසංයුක්ත වූ ධර්මයෝ තිදෙනෙත් වෙත්. කවර තිදෙනෙක් ද යත්: යම් මේ ප්රථමද්ධ්යානයෙක් වේ ද, මෙය කාමයන්ගේ නිඃශ්ශරණය යි (හෙවත් නික්මීම යි) යම් මේ අරූපාවචර ධ්යානයෙක් වේ ද, මෙය රූපයන්ගේ නිශ්ශරණය යි. (හේතු ප්රත්යයයෙන්) හටගත් එයින් ම රැස් කරණ ලද හේතු ප්රත්යයයෙන් උපන් යම් කිසිවක්, වේ ද, ඒ ධර්මයාගේ නිශ්ශරණය (පහවීම) නිරෝධය ය (නිවණ ය.) මහණෙනි, මේ නිශ්ශරණීය ස්වභාවයෝ තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “හැම කල්හි කෙලෙස් තවන වීර්ය්ය ඇති, කාමනිශ්ශරණය ද, රූපයන්ගේ අතික්රමය ද (අතික්රමොපායය ද) දැන සියලු සංස්කාරයන්ගේ සංසිඳීම (යැ යි කියන ලද නිර්වාණය) ස්පර්ශ කරන්නාවූ,
3. ඒ මහණ තෙම ඒකාන්තයෙන් සම්යග්දර්ශී නම් වෙයි. යම් හෙයකින් ඒ කාමයන්ගේ නිශ්ශරණයෙහි මිදේ ද (එ හෙයිනි.) විශිෂ්ට ඥානයෙන් දැන නිමවන ලද කෘත්ය ඇති ඒ රහත් මහණ තෙමේ කාමාදි චතුර්යොගයන් ඉක්මවූයේ නම් වෙයි.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 4.
[ශාන්තතර සූත්රය]
73. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. මහණෙනි, අරූපාවචර ධර්මයෝ රූපාවචර ධර්මයනට වඩා ශාන්ත වෙත්. නිවණ අරූපාවචර ධර්මයනට වඩා ශාන්ත වෙයි.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “රූපභවයට උත්පත්ති වශයෙන් පැමිණි යම් සත්ත්ව කෙනෙක් වෙද්ද, අරූපභවයෙහි උපන් යම්, සත්ත්ව කෙනෙකුන් වෙද්ද, නිවණ නොදන්නාවූ (ඔවුහු) පුනරුත්පත්තියට (නැවත ඉපැත්මට) පැමිණෙන්නෝ වෙත්.
3. යම් සත්ත්ව කෙනෙක් රූපධර්මයන් පිරිසිඳ දැන අරූපධර්මයෙහි නො පිහිටියාහු, නිරෝධයෙහි (=නිර්වාණය අරමුණු කොට) කෙලෙසුන් කෙරෙන් මිදෙත් ද, ඒ ක්ෂීණාස්රවයෝ මරණය ඉක්මියෝ වෙත්.
4. ආස්රව රහිත වූ සම්යක්සම්බුද්ධයන් වහන්සේ උපධිරහිත වූ නිර්වාණය (නාම) කයින් ස්පර්ශ කොට උපධීන්ගේ බැහැර ලීමේ කාරණය ප්රත්යක්ෂ කොට ශෝක රහිත වූ කෙලෙස් රජස් රහිත වූ නිර්වාණ පදය දෙසන සේක.”
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
3. 3. 5.
[පුත්ර සූත්රය]
74. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. මහණෙනි, මේ ලෝකයෙහි පුත්රයෝ තිදෙනෙක් ඇත්තාහු විද්යමාන වන්නාහු වෙත්. කවර තිදෙනෙක් ද යත්: අතිජාතය ය, අනුජාතය ය, අවජාතය ය (යන තිදෙන යි.)
මහණෙනි, කෙසේ නම් පුත්ර තෙම අතිජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්රයකුගේ මව් පිය දෙදෙන බුදුන් සරණ නොගියාහු, දහම් සරණ නොගියාහු, සඟුන් සරණ නොගියාහු වෙත් ද, ප්රාණඝාතයෙන් නොවැළකුනාහු, නුදුන් දෙය ගැන්මෙන් නොවැළකුනාහු, කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළකුනාහු, බොරු කීමෙන් නොවැළකුනාහු, මදයට ප්රමාදයට කරුණු වු රහමෙර පානයෙන් නොවැළකුනාහු, සිල් නැත්තාහු, ලාමක ධර්ම ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ පුත්ර තෙම බුදුන් සරණ කොට ගියේ, දහම් සරණ කොට ගියේ, සඟුන් සරණ කොට ගියේ වේ ද, ප්රාණඝාතයෙන්, නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුනේ වේ ද, සිල්වත් වේ ද, යහපත් ධර්ම ඇත්තේ වේ ද, මහණෙනි, මෙබඳු වූ පුත්ර තෙම අතිජාත නම් වේ.
මහණෙනි, පුත්ර තෙම කෙසේ නම් අනුජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්රයකුගේ මව්පිය දෙදෙන බුදුන් සරණ කොට ගියාහු, දහම් සරණ කොට ගියාහු, සඟුන් සරණ කොට ගියාහු , ප්රාණඝාතයෙන් වැළකුනාහු, නුදුන් දෙය ගැන්මෙන් වැළකුනාහු, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාහු, බොරු කීමෙන් වැළකුනාහු, මදයට ප්රමාදයට කරුණු වූ රහමෙර පීමෙන් වැළකුනාහු, සිල්වත් වූවාහු, කලණ දහම් ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ පුත්ර තෙමේ ද බුදුන් දහම් සඟුන් සරණ කොට ගියේ වේ ද, ප්රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුනේ වේ ද, සිල්වත් වේ ද, යහපත් ධර්ම ඇත්තේ (සම්යග්දෘෂ්ටියෙන් යුක්ත) වේ ද, මහණෙනි, මෙබඳු වූ පුත්ර තෙම අනුජාත නම් වේ.
මහණෙනි, කෙසේ නම් පුත්ර තෙමේ අවජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්රයකුගේ මව් පිය දෙදෙන බුදුන් සරණ ගියාහු, දහම් සරණ ගියාහු, සඟුන් සරණ ගියාහු වෙත් ද, ප්රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුනාහු, සිල්වත් වූවාහු කලණදහම් ඇත්තාහු වෙත් ද, එහෙත් ඔවුන්ගේ පුත්ර තෙමේ බුදුන් සරණ දහම් සරණ සඟුන් සරණ නො ගියේ වේ ද, ප්රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් නොවැළැකුනේ වේ ද, සිල් නැත්තේ, ලාමකධර්ම (හීනාචාර) ඇත්තේ වේ ද, මහණෙනි, මෙසේ වනාහි පුත්ර තෙමේ අවජාත නම් වේ. මහණෙනි, මේ පුත්රයෝ තිදෙන ලෝකයෙහි ඇත්තාහු විද්යමාන වන්නාහු වෙත් යි.