3. 9 දසදහසක් භික්ෂුණීන්ගේ අපදානය
1029. මෙයින් පෙර සාරාසංඛ්යකල්පලක්ෂයෙහි ලෝකනායක වූ දීපංකර නම් ජිතපඤ්චමාරයෝ උපන්හ.
1030. සත්වයන් විනයනය කරන මහාවීර වූ දීපඞ්කර සර්වඥයන් වහන්සේ සුමේධ ද සුමිත්ත ද යන මොවුන් සමාන සුවදුක් ඇතිබව ප්රකාශ කළ සේක.
1031. ඒ ප්රකීර්තනයෙහි දී දෙවියන් සහිත ලෝවැසියන් දක්නමෝ සදේවක ලෝකයෙහි හැසිරෙන්නමෝ අපි ඔවුන්ගේ සමාගමයට පැමිණ -
1032. අනාගත සමාගමයෙහි අප සියල්ලන්ට ස්වාමි වුව මැනැව, අප සියල්ලෝ ම ඔබට මනවඩන ප්රිය වදන් කියන භාර්ය්යා වම්හ.
1033. මහාමුනි වූ සර්වඥයෙනි, අප විසින් දාන - සීලමය වූ සියලු කුසල් කරන ලද, භාවනා ද මොනොවට වඩන ලදු. බොහෝ කලක් සියල්ල පරිත්යාග කරන ලදි.
1034. මහාමුනි වූ සර්වඥයෙනි, සුවඳ විලෙවුන් මල් හා පහන් ද පතන ලද රුවන්මුවා වූ යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල පරිත්යාග කරන ලදී.
1035. මහාමුනි වූ සර්වඥයෙනි, අන්ය වූ ද කුශලකර්ම කරන ලද, මානුෂික වූ පරිභෝග වස්තු ද යන සියල්ල අප විසින් බොහෝ කලක් පරිත්යාග කරන ලදී.
1036. නොයෙක් ජාති ඇති සංසාරයෙහි අප විසින් බොහෝ පින්කම් කරන ලදි. ඓශ්වර්ය්යය වළඳා කුදුමහත් භවයෙහි සැරිසරා -
1037. පශ්චිම භවය පැමිණි කල්හි කැමැති වර්ණ ඇති අප්සරාවෝ නානාකුලයෙහි උපන්නාහු ශාක්යපුත්ර වූ සිදුහත් කුමරුන්ගේ නිවේසනයෙහි -
1038. අග්ර වූ ලාභයෙන් යුක්ත ව පුදනු ලැබූ සියල්ලන් විසින් සත්කාර කරන ලද හැම කල්හි සම්මානිත වූ අපි ආහාර පාන ලබනසුලු වූම්හ.
1039. ගිහිගෙය හැර ශාසනයෙහි පැවිදි ව අඩමසක් නො පත් කල්හි සියල්ලෝ නිවනට පැමිණියම්හ.
1040. ආහාර පාන ද වස්ත්ර හා සෙනසුන් ද ලාභී වූම්හ. සියලු ප්රත්යයෝ ලැබෙත්. හැම කල්හි සත්කෘත පූජිත වූම්හ.
1041. අප විසින් ක්ලේශයෝ දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් මෙන් අස්රව රහිත වැ වාස කරම්හ.
1042. බුද්ධශ්රේෂ්ඨයන්ගේ ශාසනයට ඒකාන්තයෙන් අපගේ මනා පැමිණීම විය, ත්රිවිද්යාවෝ ලබන ලදහ, බුදුසසුන් කරන ලද.
1043. සිවුපිළිසිඹියාවෝ ද ... බුදුසසුන් කරන ලදි.
මෙසේ යසෝධරාවන් ප්රමුඛ දසදහසක් භික්ෂුණීහු භාග්යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා ප්රකාශ කළහ.
නවවැනි දසදහසක් භික්ෂුණීන්ගේ අපදාන යි.