3. 10 යසෝධරා ප්‍රමුඛ අටළොස්දහසක් භික්‍ෂුණීන්ගේ අපදානය
1044. යසෝධරාවන් ප්‍රමුඛ ශාක්‍යවංශයෙහි උපන් අටළොස් දහසක් භික්‍ෂුණීහු සම්බුදුන් කරා පැමිණායාහු ය.
1045. අටළොස්දහසක් භික්‍ෂුණීහු සියල්ලෝ මහත් ඍද්ධි ඇත්තාහු වෙති, මුනීන්‍ද්‍රයන්ගේ පාසඟුළුවන් වඳිති, ශක්ති පරිදි දන්වා සිටිත්.
1046. මහාමුනිතුමනි, ජාතිය ද ජරාව ද ව්‍යාධිය ද මරණය ද ක්‍ෂය විය. නායකයාණනි, අනාස්‍රව වූ ශාන්ත වූ අමෘතපදයට යම්හ.
1047. මහාමුනීන්‍ද්‍රයෙනි, ඉදින් පෙර සියල්ලන්ගේ මැ යම් දොසක් ඇද්ද, විනායකයෙනි, ඒ අපරාධය නො දන්නා වූ අපට කමා කළ මැනැව.
1048. මාගේ සසුන් කරන මෙහෙණියනි, ඍද්ධිය ද දක්වවු. යම්පමණ පිරිස් වැසියන්ගේ සැකය ද සිඳිවු.
1049. මහාවීරයන් වහන්ස, යශස් දරන මනවඩන ප්‍රියදර්‍ශන ඇති සියල්ලෝ ගිහිගෙයි දී නුඹ වහන්සේගේ ප්‍රජාපතී වූම්හ.
1050. වීරයන් වහන්ස, අපි නුඹ වහන්සේගේ භවනයෙහි සියදහසක් ස්ත්‍රීන්ට ද, සයක් අධික වූ අනූවකට ද ප්‍රමුඛව සියල්ලන්ට ඉසුරු ඇති වූම්හ.
1051. රූපයෙන් හා ආචාරගුණයෙන් යුක්ත වූ යොවුන් වියෙහි සිටි ප්‍රියවදන් ඇති සියල්ලෝ මිනිස් ලොවැ දෙවියකුට මෙන් පුදත්.
1052. ශාක්‍යකුලයෙහි උපන් සියල්ලෝ අටළොස්දහසක් වූහ, (ඔවුනතුරෙහි) යශස්ධර වූ දහසක් දෙන එකල්හි ප්‍රමුඛ වූවාහු ඉසුරු ඇති වූහ.
1053. මහාමුනීන්‍ද්‍රයෙනි, කාමධාතුව ඉක්මවූවාහු, රූපධාතුයෙහි සිටියාහු ඒ දහසක් ස්ත්‍රීන්ට රූපයෙන් සදෘශ වූවාහු නැති.
1054. සම්බුදුන් වැඳ ශාස්තෘන් වහන්සේට ඍද්ධි දැක්වූහ, ලොවැ නන්වැදෑරුම් වූ මහත් ඍද්ධි ද දැක්වූහ.
1055. සක්වළ සම වූ කය ඇති උතුරුකුරුයෙහි හිස ඇති (විදේහ ගොයාන යන) දෙදිවයිනැ දෙපියා ඇති ශරීරයෙන් දඹදිව වසා සිටි -
1056. දකුණු සයුර විල්කලබ ඇති නානාශාඛා බඳු පත්‍ර ඇති සඳු හිරු මෙන් විශාල ඇස් ඇති මේරුපර්‍වතයෙහි සිළු ඇති -
1057. සක්වළගිරෙහි තුඩු ඇති ව (ගුරුළුවෙස් ගෙන) මුල් සහිත දඹරුක සලමින් සමීපයට පැමිණ ලෝකනායකයන් වඳිති.
1058. හස්තිවේශය ද එසේ මැ අශ්වවේශය ද පර්‍වත ද එසේ මැ සයුර ද සඳු ද හිරු ද මෙරගල් ද ශක්‍රවේශය ද දැක්වූහ.
1059. පසැස් ඇති වීරයන් වහන්ස, යශස්ධර වූ ඇපි පා සඟුළුවන් වඳුම්හ. නරනායක වූ වීරයන් වහන්ස, ඔබගේ මහිමයෙන් නිෂ්පන්නයම්හ.
1060. මහාමුනින්‍ද්‍රයන් වහන්ස ඍද්ධිවිෂයෙහි ද දිවසෝධාභි ද වශී වම්හ, පරසිත් දන්නා නුවණෙහි වශී වම්හ.
1061. පෙර විසූ කඳපිළිවෙළ දැනුම්හ, දිව ඇස පිරිසිදු කරනලද සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති.
1062. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අපට අත්‍ථ, ධම්ම, නිරුත්ති විෂයෙහි ද පටිභානයෙහි ද නුවණ උපන.
1063. මහාමුනිවරය, පූර්‍වලෝකනාථයන්ගේ සංගමය අපට දක්වනලද, නුඹ වහන්සේ සඳහා අපගේ අධිකාරයෝ බොහෝ වූහ.
1064. මුනීන්‍ද්‍රයන් වහන්ස, අපගේ යම් පූර්‍වකුශලකර්‍මයක් සිහිකරන්නහු ද, මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් පුණ්‍යයෝ රැස්කරන ලදහ.
1065. අභව්‍යස්ථානයන් හැරපියා අනාචාරය වැළැකුම්හ. මහා වීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් දිවි පුදන ලද.
1066. මහාමුනිවරය, නොයෙක් කෙළසුවහසුන්ට භාර්‍ය්‍යා පිණිස අප දුන්නේ ය, එහි ලා නුඹ වහන්සේ සඳහා නො සතුටු නො වම්හ.
1067. නොයෙක් කෙළසුවහසුන්ට උපකාර පිණිස අප දුන්නේ ය, මහාමුනිවරය, එහි ලා නුඹ වහන්සේ ට නො සතුටු නො වම්හ.
1068. නොයෙක් කෙළසුවහසුන්ට භෝජන සඳහා අප දුන්නේ ය, මහාමුනිවරය එහි ලා නුඹ වහන්සේට නො සතුටු නො වම්හ.
1069. අපගේ නොයෙක් කෙළ සුවහස් ජීවිතයන් පිදුම්හ, භයින් මිදීම කරම්හ’යි ජීවිතයන් ත්‍යාග කළම්හ.
1070. මහාමුනිවරය, නුඹ වහන්සේ සඳහා ශරීරගත ආභරණ ද නන්වැදෑරුම් බොහෝ වස්ත්‍ර ද ස්ත්‍රී භාණ්ඩ ද නො සඟවම්හ.