අපදානපාළිය
ප්රථමභාගය
ථේර අපදාන පාළි
ඒ භාග්යවත් අර්හත් සම්මාසම්බුදුරජානන්වහන්සේට නමස්කාර වේවා.
1. බුද්ධ වර්ගය
1.
බුද්ධාපදානය
1. (වැඳුම පිණිස) නැමුනු සිරුරු ඇති වේදේහිපුත්ර (ආනන්දස්ථවිර) තෙමේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නා වූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස, සර්වඥ බුදුවරු ලොව පහළ වෙත්. ඒ බුදුවරු කිනම් හේතුවකින් පහළ වෙත් දැ” යි විචාළේ ය.
2-3. එකල්හි මහර්ෂී වූ සර්වඥ වූ බුදුරජානන් වහන්සේ භද්ර වූ ආනන්දස්ථවිරයන් වහන්සේට “පෙර බුදුවරයන් වෙත කරණ ලද අධිකාර (පින්) ඇති, ඒ බුදුසසුන්හි නො ලැබූ නිවන් ඇති, ඉතා සියුම් නුවණ ඇති, ඒ ප්රාඥයෝ ඒ සම්යක්සම්බෝධිය ම අරමුණු කොට මහත් ධෛර්ය්යයෙන් කළ පැතුමින් ද, වඩන ලද ප්රඥාවෙන් ද, බලයෙන් ද බුදුබවට පැමිණෙත්” ය යි මිහිරි හඬින් වදාළ සේක.
4. බුදුවරයෝ අසඞ්ඛ්ය වෙති. මම ද ඒ පෙර බුදුවරයන් හමුවෙහි සිතින් ම එසේ වී බුදුබව පැතීමි.
5. අනතුරු ව බුද්ධාපදානයන් (බුදුබවට හේතු කරණු) පිරිසිදු සිතින් අසවු. සමතිස් පැරුම් පිරූ බුදුවරු අසඞ්ඛ්ය ගණන් වෙති.
6. ශ්රේෂ්ඨ බුදුවරයන් වහන්සේලාගේ සර්වඥතාඥානය ද, ශ්රාවකසඞ්ඝයා සහිත බුදුවරයන් වහන්සේලා ද, බදැඳිලි ව නැමැද හිස නමාත් වැන්ඳෙමි.
7. ඇති තාක් බුද්ධක්ෂේත්රයන්හි අහසෙහි වූ ද පොළොවෙහි වූ ද අනන්තරත්නයන් සිතින් (ඉටා මාගේ ප්රාසාදය හාත්පස) රැස් කෙළෙමි.
8. එහි රිදීමුවාබිම්හි සත්රුවනින් කරණලද්දා වූ අහස්හි උස් ව නැංගා වූ නොයෙක් මහල් ඇති පහයක් මැවීම්.
9. ඒ ප්රාසාදය දිගුපුළුලට සරි ලන සේ මැනවින් කළ බෙදුම් ඇති මාහැඟි තොරණින් හා සේසතින් බබලන රුවන්මුවා දැවවළලු ඇති විසිතුරු කණුවලින් යුතු වි ය.
10. එහි පළමුවැනි මාලය පිරිසිදු වලාකුළක් සේ මනෝඥ වෙරළුමිණියෙන් කරණලද බිම ඇත්තේ වි ය. ජලයෙහි හටගන්නා පියුම්වලින් ගැවසීගත් උතුම් රුවන්මුවා භූමියෙන් ද යුතු වි ය.
11. එහි කිසි මහලක් මනහර පබළුයෙන් කළ පැති ඇත්තේ පබළුවන් වි ය. අනිකක් රත්පැහැ වි ය. අනිකක් රතිඳුගොව්වන්ගේ පැහැයට බඳු පැහැයෙන් යුතු වූ යේ දසදිගුන් බබුළුවයි.
12. මැනැවින් බෙදූ ගෘහද්වාර ද පිටතට නෙරාගිය ප්රමුඛශාලා (=පෝටිකෝ) ද වෙන් වෙන් ව තබනලද සීමැදුරු ද මුතුලැලින් මනහර වූ සුවඳමල්දම් ලෙළෙන වේදිකා සතරක් ද එහි වි ය.
13. (ඒ ප්රාසාදය) සත්රුවනින් දිලෙන නිල්, කහ, රතු, සුදු, නො මුසු කළුවන් වූ කුළුගෙවලින් ද යුතු වි ය.
14. (එ ම පහය) පිපුනු (අයුරින් කළ) පියුමින් ද, ව්යාල මෘගයන්ගේ හා පක්ෂීන්ගේ ද රුවින් බබලන (ඉතා උස් බැවින් පිළිබිඹු වූ) නැකැත්තරුවලින් ගැවසී ගත් සඳහිරුරූවලින් ද ශෝභන වි ය.
15. එහි රන්කිකිණයෙන් යුත් රුවන්දැලින් ගැවසුනු මනහර වූ රත්මල්දම්හු වායුවේගයෙන් නාද කරති.
16. මදටපැහැ, රතු, කහ, පලාවන්, පිඟුවන් යන නන්වැදෑරුම් සායම් පොවනලද ඔසවනලද්දා වූ දදපෙළ ද වෙයි.
17. එය රිදීමුවා වූ ද නිල්මිණිමුවා වූ ද දෑරඟමිණිමුවා වූ ද, එසේ ම මැසිරිමිණිමුවා වූ ද පුවරු ඇති සියුම් කසීසළු අතුළ නොයෙක් සියගණන් සයනයන්ගෙන් විසිතුරු වි ය.
18. කම්බිලි ද දුහුල්පට ද චීනපට ද පත්තුණ්ණදේසයෙහි කළ පට ද පඬුවන් පට ද යන මෙයින් කළ ප්රාවරණයන් ඇති බැවින් විවිධ ඇතිරිලිවලින් යුත් සියලු (අසුන්) මම සිතින් ඉටා පැණවීමි.
19. ඒ ඒ භූමීන්හි රුවන්කුළුවලින් අලඞ්කෘත වූ රත්මිණියෙන් කළ දඬුවැටපහන් දරන්නෝ සිටිත්.
20. එහි නුවරදොර හොබවනුවස් සිටවූ ඉන්ද්රඛීලයෝ බබලත්. ස්වර්ණමය වූ ද ජාම්බූනදස්වර්ණමය වූ ද ඛදිර(=කිහිරි)දාරුමය වූ ද රජතමය වූ ද තොරන්හු බබලති.
21. මැනවින් බෙදූ බොහෝ සන්ධීහු වෙත්. (ඒ පහය) ජනෙල් වලින් හා අගුළුවලින් විසිතුරු වි ය. පියුම්උපුල් වලින් යුත් දෙපස තැබූ නොයෙක් පුන්කලස්හු ද එහි වෙති.
22. අතීතයෙහි වූ ශ්රාවකසඞ්ඝයා සහිත ලෝකනායක සම්මා සම්බුදුවරයන් ද එසේ ම ශ්රාවකසමූහයා සහිත පසේබුදුවරයන් ද පියවිසටහනින් මවා-