4. ඛත්තියා වර්‍ගය
4. 1 යසවතීප්‍රමුඛ භික්‍ෂුණීන්ගේ අපදානය
1104. මහාමුනිවරය, ඔබට ආරෝචනය කරම්හ. අපගේ සියලු භවයෝ ක්‍ෂය වූහ. භවසන‍්ධිය මුදනා ලදු, අපගේ සියලු ආස්‍රවයෝ නැති.
1105. මහාමුනිවරය, පූර්‍වකුශලකර්‍ම (ජනිත වූ) මනා කොට පතන ලද යම් කිසි පරිභෝගාර්‍හ (වස්තුවක් ඇද්ද) එය නුඹවහන්සේ සඳහා දෙන ලද.
1106. මහාමුනිවරය, නුඹ වහන්සේ සඳහා බුදු පසේබුදුවරයන්ට ද බුද්ධශ්‍රාවකයන්ට ද පරිභෝගාර්‍හ වස්තු දෙන ලද.
1107. මහාමුනිවරය, භික්‍ෂූන්ට (පරිත්‍යාගයෙන්) කුදුමහත් පින්කම් කොට මොනවට පතන ලද උච්චාකුල (උපතට නිසි) වතාවත් කරන ලද.
1108. එ මැ කුශලමූලයෙන් මෙහෙයන ලද කර්‍මසම්පත්තියෙන් මානුෂික (රූපාදිය) ඉක්මවූවාහු කැත් කුලයෙහි උපන්හ.
1109. උපතෙහි ද පින්කම් කරන කල්හි ද ජාතියෙන් ද එක්ව විසුම්හ, පශ්චිම භවයෙහි එක්ව ක්‍ෂත්‍රිය කුලයෙහි උපනුම්හ.
1110. මහාවීරයන් වහන්ස, රූපවත් ව භෝගවත් ව ලාභසත්කාරයෙන් පූජිත ව දෙවියන්ගේ නන්‍දනයෙහි මෙන් අන්තඃපුරයෙහි විසුම්හ.
1111. ගිහිගෙයින් කලකිරී ශාසනයෙහි පැවිදි වූම්හ, කිහිප දවසක් ඉක්මැයෑමෙන් ඇපි සියලු දෙන නිවනට පැමිණියම්හ.
1112. හැම කල්හි අපට සත්කාර පූජා කරන බොහෝ ජනයෝ සිවුරු පිඬුවා ගිලන්පස හා සෙනසුන් ද එළවත්.
1113. අප විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් මෙන් ආස්‍රව රහිත ව වාස කරම්හ.
1114. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි අපගේ පැමිණීම ස්වාගත විය ... බුදුසසුන් කරන ලද.
1115. සිවිපිළිසිඹියා ලබන ලද ... බුදුසසුන් කරන ලදී.
මෙසේ යසවතී ප්‍රමුඛ අටළොස්දහසක් ක්‍ෂත්‍රියකන්‍යා භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා කීහු.
යසවතී ප්‍රමුඛ අටළොස් මෙහෙණදහසුන්ගේ අපදාන යි.
4. 2 බ්‍රාහ්මණකන්‍යා භික්‍ෂුණීන්ගේ අපදානය
1116. මහාමුනිවරයන් වහන්ස, පෙර නුඹ වහන්සේට (සුළු) අසූදහසක් සියුමැලි අත්පා ඇති බමුණුකුලයෙහි උපන් (කන්‍යාවෝ වූහ.)
1117. මහාමුනිවරයන් වහන්ස, පෙර නුඹ වහන්සේට වෛශ්‍ය ශුද්‍ර කුලයෙහි උපන්නා වූ ද දේව නාග කින්නර වූ ද සිවුමහ දිවයින්හි, වූ බොහෝ කන්‍යාවෝ වූහ.
1118. කිසි කෙනෙක් පැවිදි වූවාහු ඇත, බොහෝ දෙන සිවුසස් දක්නාසුලු වෙති, දෙවියෝ ද කින්නරයෝ ද නාගයෝ ද අනාගතයෙහි සිවුසස් අවබෝධ කරන්නාහ.
1119. සියලු යශස් වළඳා සියලු සම්පතට පැමිණ නුඹ වහන්සේ කෙරෙහි ප්‍රසාදය උපදවා අනාගතයෙහි සත්‍යාවබෝධය කරන්නාහ.
1120. පසැස් ඇති මහාවීරයන් වහන්ස, බමුණු කුලයෙහි උපන් බ්‍රාහ්මණධීතෘ වූ අපි වැලිත් දක්නා වූ නුඹ වහන්සේගේ පාසඟුළුවන් වඳුම්හ.
1121. සියලු භවයෝ නසන ලදහ, තෘෂ්ණාමූලය මුලුසුන් කරන ලද, අනුශයයෝ සිඳින ලදහ, පුණ්‍යසංස්කාරයෝ බිඳින ලදහ.
1122. සියල්ලෝ සමාධි ගෝචර කොට ඇත්තාහ, එසේ මැ සමවත්හි වශී වූහ, හැම කල්හි ඇපි ධ්‍යානය හේතු කොට ධර්‍මරතියෙන් යුක්ත වැ වාසය කරම්හ.
1123. භවනෙත්ති වූ අවිද්‍යාව ද සංස්කාරයෝ ද ගෙවන ලදහ, නායකයන් වහන්ස, සුදුර්දශ වූ නිර්‍වාණ පදයට යන්නට අනුදැන වදාළ මැනැව.
1124. කළ කිස ඇති තෙපි බොහෝ කලක් මට උපකාර වූවහු යැ, බොහෝ දෙනාගේ සැක සිඳපියා සියල්ලෝ නිවනට යෙත්වා.
1125. මුනීන්‍ද්‍රයන්ගේ පාසඟුළුවන් වැඳ ඍද්ධිවිකුර්‍වණ කොට කිසි කෙනෙක් ආලෝකය දක්වති, යළි අන්‍යයෝ අන්‍ධකාරය දක්වත්.
1126. සඳහිරු දක්වති. මසුන් සහිත සයුර ද මහමෙර හා කුලපව් ද පරසතු රුක ද දක්වත්.