ථේරි අපදාන පාළි
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මා සම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
1. සුමේධා වර්‍ගය
1. 1 සුමේධා අපදානය
1. කෝණාගමන බුදුරජාණන් වහන්සේ අභිනවයෙන් කරවන ලද සඞ්ඝාරමයෙකැ වැඩවසන සමයෙහි යෙහෙළි වූ ධනඤ්ජානී යැ, ඛේමා යැ, මා (සුමේධා) යැ යන අපි තිදෙන ඒ බුදුරදුනට විහාරයක් කරවා දුනුම් හ.
2. (එ පිනෙන්) දසවරැ සියවරැ දහස්වරැ දසදහස්වරැ දෙවියන් කෙරෙහි උපනුම්හ. මිනිසත්බව්හි උපන්වාර කියනු කිම.
3. දෙවියන් කෙරෙහි උපන් කලැ මහත් ඍද්ධි ඇති වූම්හ. මිනිසුන් කෙරෙහි (උපන් කලැ) කවර කථා යැ. මම් සක්විති රජක්හුගේ ස්ත්‍රීරත්නය වූ මෙහෙසි වූමු.
4. ධනඤ්ජානී යැ, ඛේමා යැ, මා යැ යන අපි තිදෙන මෙලොව්හි රැස්කළ කුසල් ඇත්තමෝ මහත් ඉසුරුමත් කුලඟන වූමු.
5. සියල් අඟින් පිරිපුන් අරමක් මොනොවට කරවා බුදු පාමොක් සඟනට පවරා දී ප්‍රමුදිත වූම්හ.
6. (මම) යම් යම් තෙනෙකට උපත් විසින් යෙම් ද, එ කුසල් බෙලෙන් දෙවියන් අතරැ අගතැන් පැමිණියමු. මිනිසුන් අතරැ දු එසේ මැ යි.
7. මේ (භද්‍ර) කල්පයෙහි බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍ර විසින් කාශ්‍යප නම් වූ දේශකයන් අතරැ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් කෙනෙක් පහළ වූ සේක.
8. එකලැ බරණැස් පුරවරයෙහි මහර්ෂී බුදුරදුනට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසීරජෙක් වූයේ යැ.
9. ඒ රජුට සත් දූ කෙනෙක් වූහු. සුවසේ වැඩුණු ඒ රාජකන්‍යාවෝ බුදුවටන්හි නිරත වූහ. උහු තුමූ බඹසර සැරුහු.
10. මම් ඔවුනට සහාය වැ සිල්හි මොනොවට පිහිටියා සකසා දන් දී ගිහිගෙහි ම (රැඳී) වත් සපුරාලීමි.
11. ඒ කුශලකර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස්කය හැරපියා (උත්පත්ති වශයෙන්) තව්තිසා දෙව්ලොවට පැමිණියෙමු.
12. මම එයින් සැවැ යාමදෙව්ලොවට ගියමු, එයින් සැවැ තුෂිතයට ගියමු, එයින් සැවැ නිර්‍මාණරතියට ද, එයින් සැවැ වශවර්තිපුරයට ද ගියමු.
13. පින්කම්හි මොනොවට පිහිටි මම් යම් යම් තෙනෙකැ උපන්මු ද, ඒ ඒ තෙනැ (දෙව්) රජුනට මෙහෙසිබව කළමු.
14. එයින් ච්‍යුත වූවා මිනිසත්බව්හි සක්විතිරජුනට ද, පෙදෙස් රජුනට ද මෙහෙසිබව කළමු.
15. (මෙසෙයින්) දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සියලු තන්හි සුවපත් වැ නොයෙක් ජාතිවලැ (උපත් විසින්) හැසුරුණමු.
16. (යථෝක්ත දෙව්මිනිස් සැපත් ලැබීමට) ඒ විහිර දානය හේතු වියැ, එය ප්‍රභවය වියැ, එය මුල් වියැ, එය මැ බුදුසසුන්හි නිධ්‍යාන ක්‍ෂාන්තිය වියැ, එය ප්‍රථම සමාගමය වියැ, එය දම්හි ඇලුණ සුමේධාවගේ නිර්‍වාණපදප්‍රාප්තිය වී.
17. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳ සරණ ඇත්රැජිනක සෙයින් ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.
18. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ හමියෙහි මට ඒකාන්තයෙන් යහපතක් වූයේ යැ. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්ත (පිළිවෙළින් පැමිණි) යහ. බුදුසසුන් කොට නිමවන ලදි.
19. මේ සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද පසක් කරන ලදහ. බුදුසසුන් කොට නිමවන ලදි.
මෙසෙයින් සුමේධා භික්‍ෂුණී තොමෝ මේ ගාථා පැවැසූ යැ.
පළමුවැනි සුමේධා ස්ථවිරි අපදාන යි.