3. කුණ්ඩලකේසී වර්ගය
3. 1 කුණ්ඩලකේසාපදානය
639. මෙයින් සියක්දහස්වන කප්හි ලොවට නායක වූ සියලු ධර්මයන්ගේ පාරයට පැමිණි පදුමුත්තර නම් ජිනේන්ද්රයන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
640. එකල්හි මම හංසවතී නුවර නොයෙක් රුවනින් දිලියෙන මහත්සුඛයෙන් සමර්පිත වූ සිටුකුලයෙකැ උපන්මු.
641.ඒ මහාවීර වූ බුදුරදුන් වෙතැ එළැඹැ (ඔබ) දම්දෙසුන් ඇසූමු. එයින් උපන් පැහැදීම් ඇති මම් ජිනේන්ද්රයන් සරණ කොට ගියමු.
642. එකලැ මහාකාරුණික වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ සුභ නම් මෙහෙණ ඛිප්පාභිඤ්ඤා (ධර්මය වහා අවබෝධ කළ) මෙහෙණනන් අතරැ අගතන්හි තබා වදාළසේකැ.
643. එ අසා ප්රමුදිත වැ මහර්ෂිබුදුරදුනට දන් දී පාමුල මස්තකයෙන් නමස්කාර කොට ඒ තනතුර ප්රාර්ත්ථනා කළමු.
644. “භද්රාවනි, තොප විසින් යමක් පතනලද නම් ඒ සියල්ල සමෘද්ධ වන්නේ යැ, සැප ඇති වවු, නිවුණා වවු” යි මහා වීරයන් වහන්සේ අනුමෝදනා කළසේකැ.
645.මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලෝකයෙහි පහළ වන්නාහ.
646. ඔබ දහම්හි දායාද (හිමි) වූ (දහම් පසක් කොට රහත් වූ හෙයින්) ධර්මනිර්මිත වූ (එහෙයින් මැ) ඖරස (දුහිතෘ) වූ “භද්දා කුණ්ඩලකේසා” යි බුද්ධශ්රාවිකාවක් වන්නෙහි.
647. ඒ කුසලකර්මහේතුයෙන් ද චේතනාප්රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා (උපත් විසින්) තව්තිසාවට ගියමු.
648. එතැනින් ච්යුත වූවා යාම දෙව්ලොවට ගියමු. මම එයින් තුසිතයට ද, එයින් නිම්මාණරතියට ද, එයින් වසවත්තිපුරයට ද ගියා වෙමි.
649. ඒ කුශලකර්මයාගේ ශක්තියෙන් යම් යම් තෙනෙකැ (උපත් විසින්) යෙම් ද ඒ ඒ තෙනැ දෙව්රජුනට මෙහෙසිබව කරවූමු.
650. එයින් සැවැ මිනිසුන් කෙරෙහි සක්විතිරජුනට ද, මාණ්ඩලික රජුනට ද මෙහෙසිබව කරවූමු.
651. දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සැමතන්හි සුඛිත වැ නොයෙක් කල්පයන්හි සැරූමු.
652. මේ භද්ර කල්පයෙහි බ්රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්රයෙන් කාශ්යප නම් වූ සර්වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
653. එකල්හි මහර්ෂි මුනිරජුනට උපස්ථායක නරපති වූ කිකී නම් කාසිරාජයෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
654. එ රජුහට භික්ඛුදාසී යි ප්රසිද්ධ වූ සිවුවැනි දුහිතෘ වූමු. ජිනේන්ද්රයන් වහන්සේගේ ධර්මය අසා පැවිද්ද රිසි කළමු.
655-656. පිය තෙමේ අප නො අනුදත්තේ යැ, එවිට අපි හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වැ කුමරිබඹසර සැරූමු. රාජකන්යා වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිරත ප්රමුදිත සප්තදුහීතෘහු නම්:
657. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුනීදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ, සඞ්ඝදාසිකා යැ යන මොහු වූහු.
658. (උහු මෙකලැ) ඛේමා යැ, උප්පලවණ්ණා යැ, පටාචාරා යැ, එසේ ම මම් යැ, කිසාගෝතමී යැ, ධම්මදින්නා යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.
659. මම ඒ කුශලකර්මයෙන් ද චේතනාප්රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට ගියමු.
660. දැන් පැසුළු බෙවෙහි සමෘද්ධිමත් සිටුකුලයෙකැ උපන් මම යම් කලෙකැ තුරුණු වියෙහි සිටියා වමු ද, (එකලැ)
661-662. වධ (මරනු) පිණිස ගෙනයනු ලබන සොරකු දැක මම ඔහු කෙරෙහි ඇලුණුමු. මාගේ පිය තෙමේ දහසකින් ඔහු ඒ වධයෙන් මුදා මාගේ සිත දැන මා ඔහුට (සරණ කොට) දුන්නේ යැ. මම ඔහුට නිසැක වූමු, අතිශයින් ප්රිය වූමු. හිත වූමු.
663. කිලිටි අදහස් ඇති ඒ සොරා මාගේ අබරණවලට ලොබින් චෝරප්රපාත (සොරුන් හෙළා මරන) පර්වතයට ගෙන ගොස් (මා) මරන්නට සිතුයේ යැ.