3. 8 යසෝධරාපදානය
952. එක්සමයෙක්හි රම්‍ය වූ සමෘද්ධිමත් රජගහ නුවරැ එක්තරා ගිරිගුහායෙක්හි නරනායක වූ තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන සෙමෙහි -
953. එනුවරැ මනරම් මෙහෙණවරෙකැ වෙසෙන යශෝධරා තෙරණියනට මෙබඳු විතර්කයෙක් වූයේ යැ:
954-955. “නන්ද යැ, රාහුලභද්‍ර යැ, එසෙයින් මැ අග්‍රශ්‍රාවක යැ, සුද්ධෝදන මහරජ යැ, පජාපතිගෝතමී යැ, ප්‍රසිද්ධ මහතෙරණුවෝ යැ, මහත් ඍද්ධි ඇති තෙරණියෝ යැ යන ඔබ ආස්‍රව රහිත වූවාහු (තෙල් රහිත) පහන්සිළු සෙයින් ශාන්තියට ගියාහු මැ වූහු.
956. ලෝකනාථයන් වහන්සේ ධ්‍රියමාන කල්හි මැ මම් දු ශාන්තියට යන්නෙමි” යි සිතා තමන් ආයු පමණ බලන්නී -
957. එදවසැ මැ ක්ෂයයට ගිය අයුසංස්කාර දැක පා සිවුරු ගෙන සිය අසපුවෙන් නික්මැ -
958. සිය ගණන් දහස්ගණන් මෙහෙණන් විසින් පෙරටු කරනලද මහත් ඍද්ධි ඇති මහත් ප්‍රඥා ඇති ඒ යශෝධරාවෝ සම්බුදුරජුන් කරා එළැඹුණාහ.
959. සම්බුදුහු වැඳ සක් ලකුණු ඇති ස්ථරහු වෙතැ එකත් පසෙකැ හුන්නා මෙවදන් බිණූහු:
960. “මහාමුනිතුමනි, (ඔබට) සැලකරමි: මම අටසැත්තෑ හැවිරිදි වෙමි. (මේ) පැසුළු වයස වෙයි, මරණ නමැති ප්‍රපාතයට පැමිණ සිටියා වෙමි.
961. මාගේ වයස මුහුකුරා සිටුනේ යැ, මාගේ ජීවිතය මද කල් පවත්නේ යැ, තොප හැර යන්නෙමි, මා විසින් තමහට පිහිට කරගන්නා ලදි.
962. මරණ තෙම පශ්චිමකාලයෙහි ආයු පෙළ යි, මහාවීරයන් වහන්ස අද රැය නිවනට පැමිණෙන්නෙමි.
963. මුනිවරයන් වහන්ස, යම් තෙනෙකැ ජාති - ජරා - ව්‍යාධි - මරණ නැත් ද, යම් තෙනෙකැ ගිය සත්ව නො පැනේ ද, වීරයන් වහන්ස, මම එහි යන්නෙමි.”
964. මෙහි යම් පමණ පිරිස් කෙනෙක් ශාස්තෲන් වහන්සේ වෙතැ රැස් වැ හිඳිත් ද, (ඔහු මා කළ) දොසක් දනිත් නම් මුනිඳුන් හමියෙහි කමත්වා!
965. මහාවීරයාණෙනි, සැලකරමි: සසරැ සරා ඇවිදුනා සෙමෙහි තොප කෙරෙහි ඉදින් මාගේ දොසෙක් වී නම් එය ක්ෂමා කරව.”
966. ඇගේ වදන් අසා මුනීන්ද්රයන් වහන්සේ මෙය වදාළසේකැ: “නිවනට යන තොපට මතු කුමක් නම් කියම් ද?
967. මාගේ අනුසසුන් කරන්න, ඍද්ධි ද දක්ව, සසුන්හි ලා සියලු පිරිස් හි සැක ද සිඳලව” යි.
968. මුනිඳුන්ගේ එවදන් අසා ඒ යශෝධරා මෙහෙණ එ මුනිරජුන් වැඳ මේ වචන කිවු:
969. වීරයන් වහන්ස, ශාක්‍යකුලයෙහි උපන් ස්ත්රීලක්ෂණයෙහි පිහිටි මම් යශෝධරා වෙමි, ගිහිගෙහි දී තොපගේ ප්‍රජාපති (භාර්‍ය්‍යා) වූමු.
970. වීරයාණෙනි, මම තොපගේ නිවසෙහි එක්ලක්ෂසයානූදහසක් කාන්තාවනට ප්රමුඛ වූමු. සියල්ලට ඉසුරු ද වූමු.
971. රූප - ආචාර ගුණයෙන් යුතු යොවුන් වියෙහි සිටි මම ප්‍රියතෙපුල් ඇති වූමු, මිනිසුන් දෙවියන් පුදනු සෙයින් සියල්ලෝ මා පුදත්.
972. ශාක්‍යපුත්‍රයන්ගේ නිවෙස්හි සහස්රකන්යාවනට ප්රමුඛ වූමු. සමාන සුවදුක් ඇති උහු (ඒ කන්‍යාවෝ) නඳුනුයනෙහි දේවතා බඳු වූහු.
973. කාමධාතු ඉක්මැ වූවා රූපධාතුහි සිටියා වෙමි. ලෝකනායකයන් තබා රූපයෙන් (මට) සමාන වූවක් නැති.
974. යශෝධරාවෝ මේ ආදිය කියා අහසට පැන නැගැ බුදුරදුන්ගේ අනුදැන්මෙන් නොයෙක් ඍද්ධි දැක් වූහ.