3. 4 සකුලාපදානය
769. මෙකපින් සියක්දහස් වන කප්හි (ලොවි ලොව්තුරු) සියලු දහම්හි පරතෙර පැමිණි (ලොවට) නායක වූ පියුමතුරා නම් සම්බුදු රජාණන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
770. වක්තෲන් (දේශකයන්) අතරැ උත්තම වූ ආජානේය (උතුම්) පුරුෂ වූ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි සියලු සත්නට හිත පිණිස සුව පිණිස වැඩ පිණිස පිළිපන් සේකැ.
771. ජිනේන්‍ද්‍රයන් වහන්සේ යශසින් අගපත් සේකැ, ශ්‍රීමත් සේකැ, කීර්ති ප්‍රශංසා දැරූ සේකැ, සියලු ලෝකයා විසින් පූජිත සේකැ, සියලු දිශායෙහි (සර්‍වඥහ යි) ප්‍රකට වූ සේකැ.
772. ඔබ විචිකිච්ඡායෙන් නැගී සිටිසේකැ, ඉක්මැවූ සැක ඇති සේකැ, පිරිපුන් චිත්තසංකල්පනා ඇති සේකැ, උතුම් සම්බෝධියට පැමිණි සේකැ.
773. නරෝත්තමයන් වහන්සේ නූපන් (නිවන්) මග උපදවාලු සේකැ, (අන් ශාස්තෘවරයන්) ප්‍රකාශ නො කළ දෑ ප්‍රකාශ කළ සේකැ, නූපන් (ආවෘත) ලොවුතුරු දහම් උපදවාලු (අනාවරණය) කළ සේකැ.
774. නරශ්‍රේෂ්ඨයන් වහන්සේ නිවන්මග දත් සේකැ, නිවන් මග අවබෝධ කළ සේකැ, නිවන් මග ප්‍රකාශ කළ සේකැ, නිවන් මගෙහි දක්‍ෂ සේකැ, ශාස්තෘ සේකැ, උත්තම පුරුෂදම්‍යසාරථි සේකැ.
775. (ලෝක) නායක ශාස්තෘ වූ මහාකාරුණිකයන් වහන්සේ දහම් දෙසූ සේකැ, කාම නැමැති මඩවගුරෙහි එරුණු ප්‍රාණීන් නඟා සිටුවන සේකි.
776. එසමයෙහි මම හංසවතී නුවරැ කැත් දුවක් වැ ඉපැදැ මනාරූ ඇති ධනඇත්තක් වූමු, ප්‍රිය ද ශ්‍රීමත් ද වූමු.
777. ආනන්‍ද මහරජුගේ අතිශය ශෝභා ඇති දුහිතෘ වූමු. පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ වෛමාතෘක (අන් මවකගෙන් උපන්) නැගණි ද වූමු.
778. රාජකන්‍යාවන් සහිත වූවා සර්‍වාභරණභූෂිත වැ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ ධර්‍මදේශනා ශ්‍රවණ කළමු.
779. එකල්හි ඒ ලෝකගුරු තථාගතයන් වහන්සේ දිවැස් ඇති මෙහෙණක කීර්‍තනය (-ගුණ කථා) කරන සේක් පර්‍ෂද්මධ්‍යයෙහි ඇය අග්‍රස්ථානයෙහි තබාලූ සේකැ.
780. එ අසා මම ප්‍රීතිමත් වූවා ශාස්තෘ වූ සම්බුදුරජාණන් වහන්සේට දන් දී පූජා ද කොට දිවැස ප්‍රාර්‍ත්‍ථනා කළමු.
781. ඉක්බිති ශාස්තෘන් වහන්සේ නන්‍දාවතී, පැතූ දෑ ලබන්නෙහි, ප්‍රදීපදාන - ධර්‍මදානයන්ගේ මේ සුනිශ්චිත වූ ප්‍රතිඵල යි මට වදාළහ.
782. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් ශාස්‍තෘහු ලොවැ පහළ වන්නාහ.
783. ඔබ දහම්හි දායාද වූ ධර්‍මනිර්මිත වූ එහෙයින් ම ඖරස වූ නමින් සකුලා නම් වූ බුද්ධශ්‍රාවිකාවක් වන්නෙහි” යි.
784. ඒ කුශල කර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට (උපත් විසින්) ගියමු.
785. මේ භද්‍ර කල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ ශාස්තෘන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
786. එකලැ මම් එකලා වැ හැසිරෙන පිරිවැජ්ජක් වූමු. භික්‍ෂායෙහි හැසිර තෙල් සුඟක් ලත්මු.
787. එ තෙලින් පහනක් දල්වා වෙසෙසින් පහන් වූ සිතින් ද්විපදෝත්තමයන් වහන්සේගේ සෑය මුළු රැයෙකැ උවටැන් කළමු.
788. මම ඒ කුශල කර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට ගියමු.