3. 5 නන්දා ජනපදකල්යාණී අපදානය
804. සියලු ධර්මයන්ගේ පාරයට පැමිණි ලෝකනායක වූ පදුමුත්තර ජිනේන්ද්රයන් වහන්සේ මෙයින් සුවහස්වන කප්හි (ලොවැ) පහළවී වදාළ සේකැ.
805. සියලු ප්රාණීන්ට අවවාද කරන, (දහම්) අවබෝධ කරවන (සසරින්) එතර කරවන, දේශනාකූශල වූ බුදුරජාණන් වහන්සේ බොහෝ ජනතාව (සසරින්) එතෙර කරවූ සේකැ.
806. සියලු ප්රාණීන්ට අනුකම්පා කරන කරුණා ඇති හිතෛෂී වූ ශාස්තෘන් වහන්සේ වෙතැ පැමිණි සියලු අන්තොටුවන් පන්සිල්හි පිහිට වූ සේකි.
807. මෙසේ (ලොව) නිරවුල් වියැ, අන්තොටුවන්ගෙන් සිස් ද වියැ, චිත්තවශී වූ මැදහත් ගුණ ඇති රහතුන්ගෙන් විසිතුරු වී.
808. ඒ මහාමුනිහු අටපනස් රියනක් උස් වූහ, රන්ඇගෑයක් බඳු වූහ, දෙතිස් මහාපුරිස් ලකුණින් යුතු වූහ.
809. එකලැ (මිනිස්නට) හවුරුදු සියක්දහසක් ආයු වෙයි. එපමණ කල් වැඩසිටිමින් ඔබ බොහෝ ජනතාව සසරින් ගොඩ නඟාලූහු.
810. එකලැ මම හංසවතී නුවරැ නන් රුවනින් බබළන මහත් සුවයෙන් සමර්පිත සිටුකුලෙකැ උපන්මු.
811. ඒ (පියුමතුරා) මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ අමෘත වූ පරම ආස්වාදකර පරමාර්ත්ථප්රකාශක ධර්මදේශනා ශ්රවණ කළමු.
812-813. එකල්හි සඞ්ඝයා සහිත ලෝකනායකයන් වහන්සේ නිමන්ත්රණය කොට ඔබට මහදන් දී සිය දිවිහිමියෙන් ප්රසන්න වූවා සඞ්ඝයා සහිත ලෝකනායක වීරයන් වහන්සේ (වෙත) මස්තකයෙන් වැඳ වැටී ඣායිනී (ධ්යාන කරන) භික්ෂුණීන් අතරැ අග්ර ස්ථානය ප්රාර්ත්ථනා කළමු.
814. එවිට අදාන්තදමක වූ තිලෝකසරණ වූ ප්රභූ වූ නර ශ්රේෂ්ඨයන් වහන්සේ ‘ඒ මනා ප්රාර්ත්ථනාව ලබන්නෙහි’ යි ප්රකාශ කළ සේකැ. (වැළිදු)
815. “මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ.
816. ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්මනිර්මිත වූ නමින් නන්දා නම්වූ ශාස්තෘශ්රාවිකාවක් වන්නෙහි” යි (ප්රකාශ කළ සේකැ.)
817. එ අසා ප්රමුදිත වැ මෙත්සිත් ඇතිව විනායක වූ ජිනේන්ද්රයන් වහන්සේ දිවිහිම් කොට (සිවු) පසින් උවටැන් කළමු.
818. මම ඒ කුශලකර්ම හේතුයෙන් ද චේතනාප්රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
819. මම එයින් ච්යුත වූවා යාම දෙව්ලොවට ගියමු, එයින් තුෂිතයට ද, එයින් නිර්මාණරතියට ද, එයින් වශවර්ති පුරයට ද ගියමු.
820. ඒ කර්මබලයෙන් යම් යම් තෙනෙකැ උපන්මු ද, ඒ ඒ තැන (දෙව්) රජුනට මෙහෙසිබව කරවූමු.
821. ඒ දෙව්ලොවින් ච්යුත වූවා මිනිසත්බෙවෙහි සක්විති රජුනට ද පෙදෙසි රජුනට ද මෙහෙසිබව කරවූමු.
822. සැපත් වළඳා දෙවියන් කෙරෙහි ද මිනිසුන් කෙරෙහි ද සුඛිත වැ නොයෙක් කප්හි සැරිසැරූමු.
823. පශ්චිම භවය පැමිණිකල්හි මම කිඹුල්වත් නුවරැ සුද්ධෝදන රජුහට අනින්දිත වූ දුහිතෘ වූමු.
824. සිරිකතවන් රූමත් මා දැක එකුලය ප්රීතිමත් වියැ, ඒ හේතුයෙන් නන්දා යන මාගේ නාමය ‘සුන්දරී’ යන උපපද ඇති වී.
825. ඒ රම්ය වූ නගරයෙහි යශෝධරාව තබා සියලු යුවතීන් අතරැ ‘කල්යාණී’ යි ප්රකට වූමු.
826. (මාගේ) දෙටු බෑයා තුන්ලොවට අග්ර වූ බුදුරජාණෝ යැ, එසෙයින් මැ කණිටු බෑයා රහත් නමකි. එකලා වැ ගිහිගෙහි සිටුනා මම් මව විසින් චෝදනා කරන ලදමු:
827. “දියණිනි, තෝ ශාක්යකුලයෙහි උපන්හි, බුදුරදුන්ගේ බුහුන වෙහි, නන්දයන්ගෙනුදු වෙන් වූවා කුමක් හෙයින් ගෙහි වසනෙහි ද?