3. 3 ධම්මදින්නාපදානය
733. මෙ කපින් සුවහස් වන කප්හි සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි ලෝකනායක වූ පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
734. එ සමයෙහි මම හංසවතී නුවරැ එක්තරා කුලයෙකැ උපන්මු. නුවණැති ශීලයෙන් සංවර වූ මෙරමා වැඩ කරන්නක් (දැස්සක්) වූමු.
735. පියුමතුරා බුදුරදුන්ගේ සුජාත නම් අග්‍රශ්‍රාවකයාණෝ වෙහෙරින් නික්මැ පිඬු පිණිස වඩනාහ.
736. එකලැ ඝටවෙටිකාවක් (කළදැස්සක්) වූ මම කළයක් රැගෙන යන්නෙම් ඔබ දැක ස්වකීය ප්‍රාණපරිත්‍යාගයෙන් ප්‍රසන්න වැ පූපයක් දුනුමු.
737. ඔබ (එය) පිළිගෙන එහි මැ හිඳ වැළඳූහ. ඉක්බිති ඒ තෙරණුවන් ගෙට කැඳවා ගෙන ගොස් ඔබට බොජුන් පිළිගැන්වූමු.
738. එයින් මාගේ ස්වාමි තෙමේ සතුටු වූයේ (මා) සිය ලෙහෙලිය කෙළේ යැ. නැන්දණිය සමග (අරමට) ගොස් සම්බුදු රදුන් අභිවාදන කළමු.
739-740. එකල්හි උන්වහන්සේ ධර්‍මකථික මෙහෙණක ගුණ කථනය කරනසේක් ඒතදග්‍රයෙහි තැබූසේකැ. එ අසා ප්‍රමුදිත වූ මම් සඞ්ඝයා සහිත ලෝකනායක වූ සුගතයන් වහන්සේ නිමන්ත්‍රණ කොට මහදන් දී ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු.
741-742. ඉක්බිති සුගත වූ බුදුරජාණන් වහන්සේ ගැඹුරු නින්නාද සහිත මනාහඬ ඇති වැ මට මෙසේ වදාළසේක: “උපස්ථාන කිරීමෙහි ඇලුණු, සඞ්ඝයා සහිත මා වළඳවන, සදහම් ඇසීමෙහි යෙදුණු, ගුණයෙන් වැඩුණු සිත් ඇති භද්‍රාවනි, ප්‍රමුදිත වව, ප්‍රාර්‍ත්‍ථනාඵලය ලබන්නෙහි.
743. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නා හ.
744. (තෝ) ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් ධම්මදින්නා යි ප්‍රසිද්ධ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නෙහි” යි.
745. එ අසා සතොස් වැ විනායක වූ මහාමුනිවරයන් වහන්සේ මෙත්සිත් ඇතියෙම් දිවිහිම් කොට ප්‍රත්‍යයෙන් උපස්ථාන කළමු.
746. ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
747. මේ භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණවංශික මහා යශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ වක්තෘවර සර්‍වඥයන් වහන්සේ (ලෝකයෙහි) පහළ වූ සේකැ.
748. එකලැ මහර්ෂි බුදුරජුනට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කාශිරාජයෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
749. මම ඒ රජුට සුධම්මා යි ප්‍රසිද්ධ සවැනි දුහිතෘ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා ප්‍රව්‍රජ්‍යාව කැමැති වූමු.