3. 2 කිසාගෝතමී අපදානය
693. (තුන්ලොවට) නායක වූ සියලු ධර්‍මයන්ගේ පරතෙරට පැමිණි පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
694. එකල්හි මම හංසවතී නුවර එක්තරා කුලයෙකැ උපන්නෙම් ඒ නරෝත්තමයන් වහන්සේ කරා එළැඹැ (ඔවුන්) සරණ කොට ගියමු.
695. ඔබගේ චතුස්සත්‍යයෙන් යුක්ත වූ මධුර වූ පරමාස්වාදජනක වූ වෘත්ත (දුඃඛොපසම සඞ්ඛ්‍යාත) ශාන්ති සුඛය එළවන ධර්‍මය ද ඇසූමු.
696. එකල්හි වීර වූ පුරුෂෝත්තමන් වහන්සේ ඒතදග්‍රයෙහි තබමින් රුක්‍ෂචීවර ධරන මෙහෙණක වර්‍ණනා කළ සේකැ.
697. මෙහෙණගේ ගුණ අසා අපමණ ප්‍රීතිය උපදවා ශක්ති පමණින් බල පමණින් බුදුරජාණන් වහන්සේට සත්කාර කොට
698. ඒ මුනිවරයන් වහන්සේ ප්‍රණාම කොට ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු. එකල්හි නායක වූ සම්බුද්ධයන් වහන්සේ අනුමෝදනා කළ සේකැ.
699. මෙකපින් සියදහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොව පහළ වන්නාහ.
700. “තෝ ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් ගෝතමී නම් වූ ශාස්තෘශ්‍රාවිකාවක් වන්නෙහි.”
701. එ අසා මෘදු වැ විනායක වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ දිවිහිම් කොට සිවුපසයෙන් උවටැන් කළමු.
702. ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසාවට ගියමු.
703. මේ භද්‍ර කල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්‍වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
704. එ සමයෙහි මහර්ෂී බුදුරජාණන් වහන්සේ ට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසීරජෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
705. ඒ රජුට ධම්මා යන නමින් විශ්‍රැත වූ පස්වැනි දුහිතෘ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා ප්‍රව්‍රජ්‍යාව කැමැති වූමු.
706-707. පියතෙමේ අපට පැවිද්ද නො අනුදත්තේ යැ, එකල්හි අපා ගෙහි මැ හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වූවමෝ කුමරි බඹසර සැරූම්හ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු බුදුවටන්හි නියැලි ප්‍රමුදිත වූ සප්තදුහිතෘහු නම්:
708. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ, සත්වැනි සඞ්ඝදාසිකා යැ යන මොහු වෙති.
709. (මෙකලැ) ඛේමා යැ, උප්පලවණ්ණා යැ, පටාචාරා යැ, කුණ්ඩලා යැ, මම් යැ, ධම්මදින්නා යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.
710. එ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමු.
711. මෙකලැ පැසුලු බෙවෙහි මම දුගී ධන නැති ධනය නැසුණු සිටු කුලයෙකැ උපන්මු. ධන ඇති (පති) කුලයකට ගියා ද වෙමි.
712. සැමියා තබා සෙස්සෝ ‘නිර්ධන එකකැ’ යි මට ද්වේෂ කරත්. යම් කලෙකැ සපුත්‍ර වූවා ද එකලැ සියල්ලන්ට ප්‍රිය වූමු.