5. 5. 4. 7.
[ද්විතීය අවණ්ණාරහ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
නො විමසා නො පිවිස නුගුණ කියයුත්තාහට ගුණ කියයි. නො විමසා නො පිවිස ගුණ කියයුත්තාහට නුගුණ කියයි. ආවාසමච්ඡරිය ඇත්තේ ආවාසගේධය (ගිජුබව) ඇත්තේ වෙයි. කුලමච්ඡරිය ඇත්තේ කුලගෙධය ඇත්තේ වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන කරන්නේ වෙයි.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි.
මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
විමසා පිවිස (දැන) අගුණ කියයුත්තහුගේ අගුණ කිය යි, විමසා පිවිස ගුණ කියයුත්තහුගේ ගුණ කියයි, ආවාසමච්ඡරිය ආවාසගේධය ඇත්තේ නො වේ, කුලමච්ඡරිය කුලගෙධය ඇත්තේ නො වේ. ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කෙරේ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ යයි.
5. 5. 4. 8.
[තෘතීය අවණ්ණාරහ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
නො විමසා නො පිවිස අගුණ කියයුත්තහුගේ ගුණ කියා ද, නො විමසා නො පිවිස ගුණ කියයුත්තහුගේ අගුණ කියා ද, ආවාසමච්ඡරිය ඇත්තේ වේ ද, කුලමච්ඡරිය ඇත්තේ වේ ද, ලාභමච්ඡරිය ඇත්තේ වේ ද,
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි.
මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
විමසා පිවිස අගුණ කියයුත්තහුගේ අගුණ කියාද, විමසා, පිවිස ගුණ කියයුත්තහුගේ ගුණ කියා ද, ආවාසමච්ඡරිය ඇත්තේ නො වේ ද, කුලමච්ඡරිය ඇත්තේ නො වේ ද, ලාභමච්ඡරිය ඇත්තේ නො වේ ද,
මහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ යයි.
5. 5. 4. 9.
[ප්‍රථම මච්ඡරිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මෙ දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරිය ඇත්තේ වෙයි, කුලමච්ඡරිය ඇත්තේ වෙයි , ලාභමච්ඡරිය ඇත්තේ වෙයි, වණ්ණමච්ඡරිය ඇත්තේ වෙයි. ශ්‍රද්ධාදෙයය නසන්නේ වේ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වේ.