5. පඤ්චකනිපාතය
1. ප්‍රථම පණ්ණාසකය
1. සේඛබල වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
5. 1. 1. 1.
[සේඛබලසඞ්ඛිත්ත සූත්‍රය]
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් බැණවූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, මේ ශෛක්‍ෂ (සෝවාන් ආදි හික්මෙන සත්දෙනගේ) බලයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: සද්ධාබලය, හිරිබලය, ඔත්තප්පබලය, විරියබලය, පඤ්ඤාබල යි. මහණෙනි, මොහු පඤ්චශෛක්‍ෂබලයෝ යි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. ශෛක්‍ෂබලය වූ සද්ධා බලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ හිරිබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ ඔත්තප්පබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ විරියබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ පඤ්ඤාබලයෙන් සමන්‍වාගත වම්හ”යි. මහණෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
5. 1. 1. 2.
[සේඛබලවිත්‍ථත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, මෙ ශෛක්‍ෂබල පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: සද්ධාබලය හිරිබලය ඔත්තප්පබලය විරියබලය පඤ්ඤාබල යි.
මහණෙනි, සද්ධාබල කවරේ ය: මහණෙනි, මේ සස්නෙහි අරීසවු සැදැහැති වෙයි. “මෙකරුණෙනුදු ඒ භගවත්හු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විජ්ජාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තරපුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. බුද්ධයහ. භගවත්හ”යි තථාගතයන්ගේ බෝධිය (බුද්ධගුණ) හදහන්නේ ය. මහණෙනි, මෙ ශ්‍රද්ධාබලය යි කියනු ලැබේ.
මහණෙනි, හිරිබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇති වෙයි. කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය ගරහයි. ලමු අකුසල්දහමුන්ගේ සමාපත්තිය (ආගමනය) ගරහයි. මහණෙනි, මේ හ්‍රී බලයැ” යි කියනු ලැබේ.
මහණෙනි, ඔත්තප්පබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු අපත්‍රපා ඇති වෙයි. කායදුශ්චරිතහේතුයෙන් වාග්දුශ්චරිතහෙතුයෙන් මනෝදුශ්චරිතහේතුයෙන් බානේ ය. ලාමකඅකුශලධර්‍මයන්ගේ සමාපත්ති හේතුයෙන් බානේ ය. මහණෙනි, මේ අපත්‍රපාබල යැ යි කියනු ලැබේ.
මහණෙනි, විරියබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් (ප්‍රතිලාභ) පිණිස රුකුළුවැර ඇතියේ, ශක්ති ඇතියේ, දළපැරකුම් ඇතියේ, කුශලධර්‍මයෙහි නොබහාලු ප්‍රධන්කිස ඇතියේ වාස කරන්නේ ය. මහණෙනි, මේ විරියබල යි කියනු ලැබේ.
මහණෙනි, පඤ්ඤාබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු (ස්කන්‍ධයන්ගේ) උදාවිය පිළිවිදුනට සමත් ආර්‍ය්‍ය (කෙලෙසුන් කෙරෙන් වෙන් ව සිටුනා හෙයින් පරිශුද්ධ) වූ නිර්වේධිකා වූ (කෙලෙස් බිඳුනට සමත්) සම්‍යග්හෙතුනය විසින් වටකෙලෙස්දුක් ගෙවමින් යන (විදර්‍ශනාමාර්‍ග) ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මේ ප්‍රඥාබල යි කියනු ලැබේ.
මහණෙනි, මොහු පඤ්ඤශෛක්‍ෂබලයෝ යි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය: “ශෛක්‍ෂබලය වූ ශ්‍රද්ධාබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ හ්‍රීබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ අපත්‍රපාබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ වීර්‍ය්‍යබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ ප්‍රඥාබලයෙන් සමන්‍වාගතවම්හ” යි. මහණෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
5. 1. 1. 3.
[දුක්ඛ සූත්‍රය]
3. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත (දුක්) සහිත උපායාස (දැඩි දුකින් උපන් ප්‍රතිඝ) සහිත පරිඩාහ සහිත දුඃඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු දුර්‍ගති කැමැති විය යුතු. කවර පඤ්චධර්‍මයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා නැති වෙයි. හ්‍රී නැති වෙයි. අපත්‍රපා නැති වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත සහිත උපායාස සහිත පරිඩාහ සහිත දුඃඛවිහරණ කරයි. කාබුන් මරණින් මතුදු දුර්‍ගති කැමැති විය යුතු යි.