සුත්‍රාන්තපිටකයෙහි
අඞ්ගුත්තරසඟිය
ප්‍රථම භාගය
1. ඒකකනිපාතය
1. චිත්තපරියාදාන වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. 1. 1.
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක:
මහණෙනි, මේ ස්ත්‍රීරූපය යම්සේ වේ ද, එසේ යම් රූපයෙක් (රූපගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ (කුසල් සිත පැහැර ගෙණ) සිටුනේ ද, එබඳු වූ අන් එක ද රූපයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 2.
මහණෙනි, මේ ස්ත්‍රීශබ්දය යම්සේ වේ ද, එසේ යම් ශබ්දයෙක් (ශබ්දගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ශබ්දයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීශබ්දය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 3.
මහණෙනි, මේ ස්ත්‍රීගන්‍ධය (ස්ත්‍රීන් ඇසිරි කළ විලෙවුන් ඈ ගඳ) යම්සේ වේ ද, එසේ යම් ගන්‍ධයක් (ගන්‍ධගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ගන්‍ධයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීගන්‍ධය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 4.
මහණෙනි, මේ ස්ත්‍රීරසය යම්සේ වේ ද, එසේ යම් රසයෙක් (රසගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද රසයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීරසය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 5.
මහණෙනි, මේ ස්ත්‍රීස්ප්‍රෂ්ටව්‍යය (ස්ත්‍රියගේ කයෙහිදු කයසැදි දැයෙහිදු පහස) යම්සේ වේ ද, එසේ යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක් (ස්ප්‍රෂ්ටව්‍යගුරුක) පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ස්ප්‍රෂ්ටව්‍යයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ස්ත්‍රීස්ප්‍රෂ්ටව්‍යය පුරුෂයාගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 6.
මහණෙනි, මේ පුරුෂරූපය යම්සේ වේ ද, එසේ යම් රූපයෙක් (රූපගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක් ද රූපයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂරූපය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 7.
මහණෙනි, මේ පුරුෂශබ්දය යම්සේ වේ ද, එසේ යම් ශබ්දයක් (ශබ්දගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ශබ්දයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂශබ්දය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 8.
මහණෙනි, මේ පුරුෂගන්‍ධය යම්සේ වේ ද, එසේ යම් ගන්‍ධයෙක් (ගන්‍ධගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ගන්‍ධයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂගන්‍ධය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 9.
මහණෙනි, මේ පුරුෂරසය යම්සේ වේ ද, එසේ යම් රසයෙක් (රසගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද රසයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂරසය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
1. 1. 10.
මහණෙනි, මේ පුරුෂස්ප්‍රෂ්ටව්‍යය යම්සේ වේ ද, එසේ යම් ස්ප්‍රෂ්ටව්‍යයෙක් (ස්ප්‍රෂ්ටව්‍යගුරුක) ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ද, එබඳු වූ අන් එක ද ස්ප්‍රෂ්ටව්‍යයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, පුරුෂස්ප්‍රෂ්ටව්‍යය ස්ත්‍රියගේ සිත් ගෙණ සිටුනේ ය.
පළමු වග යි.