5. පස්වන පණ්ණාසකය
1. කිම්බිල වර්‍ගය
5. 5. 1. 1.
[කිම්බිල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගර සමීපයෙහි වූ මිදෙල්වෙනෙහි වසන සේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල (කෘමිලා) තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන්වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
වහන්ස, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී නො වේ නම්, එයට හේතු කවරැ? ප්‍රත්‍යය කවරැ? යී.
කිම්බිලයෙනි, තථාගතයන් පිරිනිවි කල්හි මෙ සස්නෙහි භික්‍ෂුහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ සථරුන් කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය (ආශ්‍රය) නැතියාහු වෙසෙත්. ධර්‍මය කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. ශික්‍ෂා කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. ඔවුනොවුන් කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. කිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී නො වේ නම්, මේ (එයට) හේතු ය, මේ (එයට) ප්‍රත්‍යයයි.
වහන්ස, යම් කරුණෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී වේ නම්, එයට හේතු කවරැ? එයට ප්‍රත්‍ය කවරැ?යි.
කිම්බිලයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි මෙ සස්නෙහි මහණහු මෙහෙණහු උවසුහු උවැසියෝ ශාස්තෲන් කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. ධර්‍මය කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. ශික්‍ෂායෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. උනුනට ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. කිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී වේ නම්, මේ එයට හේතු ය, මේ එයට ප්‍රත්‍යය යි.
5. 5. 1. 2.
[ධම්මසවණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, ධර්‍මශ්‍රවණයෙහි මෙ අනුසස් පසෙක කවර පසෙක යත්:
අශ්‍රැතය (නො ඇසූ විරූ දෙය) අසන්නේ ය. ශ්‍රැතය (ඇසූ විරූ දෙය) පිවිතුරු කරන්නේ ය. සැක දුරුකරන්නේ ය. දෘෂ්ටිය ඍජු කරන්නේ ය. ඔහුගේ සිත පහදනේ ය. මහණෙනි, ධර්‍මශ්‍රවණයෙහි මෙ අනුසස් පස යි.
5. 5. 1. 3.
[අජානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ රාජාඞ්ග සඞ්ඛ්‍යාවට ම යෙයි. කවර පසෙකින් යත්:
ඍජුත්‍වයෙන් (අවඞ්කගමන), ජවයෙන (පදජවය), මෘදුත්‍වයෙන (සිරුරුමෘදුබව), ක්‍ෂාන්තියෙන (ඉවසීම), සුරතභාවයෙන. මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත රජුගේ භද්‍රාශ්වාජානීය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රාජාඞ්ග සඞ්ඛ්‍යාවට ම යෙයි.
මහණෙනි, එ සෙයින් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුන්‍යෙය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින් යත්:
ඍජුත්‍වය (ඥානයාගේ ඍජු ගමන), ජවය (සූර ඥානවත්භාවය) මෘදුත්‍වය (මෘදුසිල් ඇති බව), ක්‍ෂාන්තිය (අධිවාසන ක්‍ෂාන්තිය), සුරතභාවය යන මෙයිනි. මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ යයි
5. 5. 1. 4.
[බල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මෙ බල පසෙකි. කවර පසෙක යත්:
ශ්‍රද්ධාබලය, ශ්‍රීබලය, ඔත්තප්පබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල යි. මහණෙනි, මේ බල පස යි.
5. 5. 1. 5.
[චේතෝඛිල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මෙ චේතෝඛිල (සිත්හි තදබැව්) පසෙක. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ස්ථරුන් කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. අධිමෝක්‍ෂ නො කෙරෙයි. ප්‍රසාද නො කෙරෙයි. මහණෙනි, යම් මහණෙක් ස්ථරුන් කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, අධිමෝක්‍ෂ නො කෙරේ ද, සම්ප්‍රසාදය නො කෙරේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්‍රියාව පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමේ නම්, මේ ප්‍රථම චේතෝඛිල යි.
තවද මහණෙනි, මහණ ධර්‍මයෙහි සැක කරයි ... [ඔහුගේ සිත ... නො නැමෙයි ... මේ දෙවන චේතෝඛිලයි] සඟුන් කෙරෙහි සැක කරයි. ... [ඔහුගේ සිත ... නොනැමෙයි ... මේ තුන්වන චේතෝඛිලයි]. ශික්‍ෂායෙහි සැක කරයි ... [ඔහු ගේ සිත ... නො නැමෙයි. මේ සතරවන චේතෝඛිලයි]. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇතියේ ගැටුනු සිත් ඇතියේ හටගත් (ක්‍රෝධ) හුල් ඇතියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ ගැටුනුසිත් ඇතියේ හටගත් හුල් ඇතියේ වේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමේද, මෙ පස්වන චේතෝඛිල යි.
මහණෙනි, මෙ චේතෝඛිල පසයි.