4. ආවාසික වර්ගය
5. 5. 4. 1.
[අභාවනීය සූත්රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත ආවාසික මහණ අභාවනීය (බුහුමන් නො ලබන්නේ- නොවැඩෙන්නේ) වෙයි. කවර පසෙකින් යත්:
ආකල්පසම්පන්න නො වූයේ (මනා ගතිපැවතුම් නැත්තේ) වත්සපන් නො වෙයි. බහුශ්රුත නො වූයේ ශ්රැතධර නො වෙයි. කෙලෙස් ලියා නො හරණේ පිළිසලනෙහි ඇලුම් ඇතියේ නො වෙයි. කළණ බස් නැතියේ කළ්යාණවාක්කරණ ඇතියේ නො වෙයි. මූඪ වූයේ කෙලතොලු වූයේ දුෂ්ප්රාඥ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත ආවාසික මහණ භාවනීය නො වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත ආවාසික මහණ භාවනීය වෙයි. කවර පසෙකින් යත්:
ආකල්පසම්පන්න වූයේ වත්සපන් වෙයි. බහුශ්රුත වූයේ ශ්රැතධර වෙයි. කෙළෙස් ලියා හරණේ පිළිසලනෙහි ඇලුම් ඇතියේ වෙයි. කළණ බස් ඇතියේ කළ්යාණවාක්කරණ ඇතියේ වෙයි. ජඩ නො වූයේ කෙලතොලු නො වූයේ ප්රාඥ වෙයි.
මහණෙනි, මේ කරුණු පසින් සමන්වාගත ආවාසික මහණ භාවනීය වෙයි.
5. 5. 4. 2.
[ප්රිය සූත්රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත ආවාසික මහණ සබ්රම්සරුනට ප්රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි. කවර පසෙකින් යත්:
සිල්වත් වූයේ ප්රාතිමෝක්ෂසංවරයෙන් සංවෘත ව වසනේ ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්ර වරදෙහි භය දක්නා සුලු වූයේ සමාදන් කොට ගෙණ ශික්ෂාපදයෙහි හික්මෙයි. ශ්රැතධර වූයේ රැස් කොට ගත් ශ්රැත ඇතියේ බහුශ්රුත වෙයි. ආදිකල්යාණ වූ මධ්යකල්යාණවූ පර්ය්යවසානකල්යාණ වූ සාර්ත්ථ වූ සව්යඤ්ජන වූ යම් ධර්මකෙනෙක් කේවලපරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්රහ්මචර්ය්ය පවසත් නම්, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසනලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් ප්රගුණ කරණ ලද්දාහු සිතින් අනුප්රේක්ෂිත වූවාහු නුවණින් මොනවට පිළිවිදියාහු වෙති. පරිබුද්ධ වූ නිදොස් වූ අරුත් පවසන පිරිපුන් වදනින් සමන්වාගත කලණ වදන් හඬ ඇතියේ කලණ වදන් ඇතියේ ද වෙයි. විසුද්ධචිත්තයෙහි ජාත වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සව්දැහැන් රිසිසේ ලබන්නේ ද නිදුකින් ලබන්නේ ද විපුලව ලබන්නේ ද වෙයි. ආස්රවක්ෂය වීමෙන් අනාස්රව වූ අර්හත් ඵල සමාධි සඞ්ඛ්යාත චිත්තවිමුක්තිය ද අර්හත්ඵලප්රඥා සඞ්ඛ්යාත ප්රඥාවිමුක්තිය ද තෙමේ ඉහාත්මයෙහි ම විශිෂ්ටඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙයි.
මහණෙනි, මේ පස්දහමින් සමන්වාගත ආවාසික මහණ සබ්රම්සරුන්ට ප්රිය හා මනාප හා ගරු හා භාවනීය හා වේ යයි.
5. 5. 4. 3.
[සෝභන සූත්රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, පස්දහමෙකින් සමන්වාගත ආවාසික මහණ ආවාසය හොබවන්නේ වෙයි. කවර පසෙකින් යත්:
සිල්වත් වූයේ ... සමාදන් ව ගෙණ ශික්ෂාපදයෙහි හික්මෙයි. ... බහුශ්රුත වූයේ ... නුවණින් මොනොවට පිළිවිදියාහු වෙති. අපරිබුද්ධ වූ (නොපැටලෙන) නිදොස් වූ අරුත් පවසන පිරිපුන් වදනින් සමන්වාගත සොඳුරු වදන් හඬ ඇතියේ සොඳුරු වදන් ඇතියේ ද වෙයි. වෙත එළඹෙන්නවුන් දැහැමි කථායෙන් කරුණු දක්වාලන්නට සමාදන් කරවන්නට තෙද ගන්වන්නට (උද්යෝගී කරවන්නට) පහදවන්නට ප්රතිබල වෙයි. විශුද්ධචිත්තයෙහි ජාත වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සිවුදැහැන් රිසිසේ ලබන්නේ ද නිදුකින් ලබන්නේ ද විපුල ව ලබන්නේ ද වෙයි.
මහණෙනි, මේ පස්දහමින් සමන්වාගත ආවාසික මහණ ආවාසය හොබවන්නේ වෙයි.
5. 5. 4. 4.
[බහූපකාර සූත්රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, පස්දහමෙකින් සමන්වාගත ආවාසික මහණ ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින් යත්:
සිල්වත් වූයේ ... සමාදන්ව ගෙණ ශික්ෂාපදයෙහි හික්මෙයි. බහුශ්රුත වූයේ ... නුවණින් මොනවට පිළිවිදියාහු වෙති. කැඩුම් බිඳුම් පිළිසකර කෙරෙයි. “මහබික්සඟහු පැමිණියහ. (ඔහු) නා නා රාජ්යයනට අයත් භික්ෂූහු වෙති. (එ ආවාසික මහණ) ගිහියන් වෙත එළඹ ආරෝචනා කෙරෙයි: ‘ඇවැත්නි, මහබික්සඟහු එළඹිය හ. (ඔහු) නානා රාජ්යයනට අයත් භික්ෂූහු වෙති. දැන් පින් කරණට කලැ” යි (කියායි.) දිටුදැමියෙහි සුඛවිහරණ වූ අධිචිත්තයෙහි උපදනා වූ සිවුදැහැන් කැමති සේ ලබන සුලු වූයේ නිදුකින් ලබන සුලු වූයේ විපුල සේ ලබන සුලු වූයේ වෙයි.
මහණෙනි, මෙකරුණු පසින් සමන්වාගත ආවාසික මහණ ආවාසයට බොහෝ උපකාර ඇති වේ යයි.
5. 5. 4. 5.
[අනුකම්පක සූත්රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගිහියනට අනුකම්පා කෙරෙයි. කවර පසෙකින් යත්:
අධිසීලයෙහි සමාදන් කරවයි. චතුස්සත්යධර්මදර්ශනයෙහි යොදවයි. ගිලනුන් වෙත එළඹ “ඇවැත්නි, හැම සත්කාරයට නිසි තුණුරුවන් විසාහි ගිය ස්මෘතිය එළවා ගණුව” යි සිහි උපදවයි. මහබික්සඟහු එළඹියාහු වෙති. (ඔහු) නොයෙක් රාජ්යයනට අයත් භික්ෂූහු වෙති. එ ආවාසික මහණ ගිහියන් වෙත ගොස් (මෙසේ) දන්වාලයි. “ඇවැත්නි, මහබික්සඟහු එළඹියාහ. (ඔහු) නා නා රාජ්යයනට අයත් භික්ෂුහු වෙති. දැන් පින් කරණට කලැ” යි (කියායි.) ඕහට රූක්ෂ වේවයි ප්රණීත වේවයි යම් ම භෝජනයක් දෙත් නම්, එය තෙමේ වළඳයි, ශ්රද්ධාදෙයය විනිපාත නො කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත ආවාසික මහණ ගිහිනට අනුකම්පා කෙරේ යයි.