5. 4. 5. 7.
[වස්සනතරාය සූත්රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, යම් වැසි අන්තරායක් නිමිත්තපාඨකයෝ නො දන්නාහු නම්, යමෙක්හි නිමිත්තපාඨකයන්ගේ චක්ෂුස නොවදනේ නම්, මේ ඒ වැසි අන්තරාය පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, උස් අහස්හි තේජෝධාතුව කිපෙයි. එයින් උපන් මේඝයෝ (වලා) දැවී පහව යෙත්. මහණෙනි, යමක් නිමිත්තපාඨකයෝ නො දනිත් නම්, යමෙක්හි නිමිත්තපාඨකයන්ගේ ඇස නො වදනේ නම්, වැසි පිළිබඳ මේ ඒ පළමුවන අන්තරාය වෙයි.
තවද මහණෙනි, උස් අහස්හි වායෝධාතුව කිපෙයි. එයින් උපන් මේඝයෝ (විසිරී) පහව යෙති. මහණෙනි, යමක් නෛමිත්තකයෝ නො දනිත් නම්, යමෙක්හි නෛමිත්තකයන්ගේ චක්ෂුස නො වදනේ නම්, මේ ඒ දෙවන වැසි අන්තරාය යි.
තවද මහණෙනි, රාහු අසුරෙන්ද්ර අත්ලෙන් දියගෙණ (උතුසමුට්ඨාන ජලය දොහොතින් ගෙණ) මහමුහුදෙහි හෙළන්නේය. මහණෙනි, නිමිත්තපාඨකයෝ යමක් නො දනිත් නම්, යමෙක්හි නෛමිත්තකයන්ගේ ඇස නො වැදගන්නේ නම්, මේ ඒ තෙවන වැසි අන්තරාය යි.
තවද මහණෙනි, වැසිවලාදෙවියෝ (කෙළිදෙලින්) ප්රමත්ත වෙති. මහණෙනි, යමක් නෛමිත්තකයෝ නො දනිත් නම්, යමෙක නෛමිත්තකයන්ගේ ඇස නො වැදගන්නේ නම්, මේ ඒ සතරවන වැසි අන්තරාය යි.
තවද මහණෙනි, මනුෂ්යයෝ අධාර්මික වෙති. මහණෙනි, යමක් නිමිත්තපාඨකයෝ නො දනිත් නම්, යමෙක නිමිත්තපාඨකයන්ගේ ඇස නො වදනේ නම්, මේ ඒ පස්වන වැසි අන්තරාය යි.
මහණෙනි, යමක් නිමිත්තපාඨකයෝ නො දනිත් නම්, යමෙක නිමිත්තපාඨකයන්ගේ ඇස නො වදනේ නම්, මෙ ඒ වැසි අන්තරාය පසයි.
5. 4. 5. 8.
[සුභාසිතවාචා සූත්රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත වචනය සුභාෂිතය වෙයි. දුර්භාෂිත නො වෙයි, අනවද්ය ද වෙයි, නුවණැතියන් විසින් නො ගැරැහිය යුතු ද වෙයි. කවර පසෙකින් යත්:
කාලභාෂිතද (නිසි කල්හි කියනලදුයේ) වෙයි. සත්යභාෂිත ද වෙයි. ශලක්ෂණභාෂිත ද (සිලුටු වචන) වෙයි. අර්ත්ථසංහිත භාෂිත ද වෙයි. මෙත් සිතින් (කියන) භාෂිත ද වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත වචනය සුභාෂිත වෙයි, දුර්භාෂිත නො වෙයි, නිරවද්ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහිය යුතු ද වේ යයි.
5. 4. 5. 9.
[කුල සූත්රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, යම් කලෙක සිල්වත් පැවිද්දෝ කුලයකට එළඹෙත් නම්, එහි මිනිස්සු කරුණු පසෙකින් බොහෝ පින් ප්රසව කෙරෙත්. කවර පසෙකින් යත්:
මහණෙනි, යම් කලෙක මිනිස්සු කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් දැක සිත් පහදවත් නම්, මහණෙනි, එ කුලය එ සමයෙහි ස්වර්ගය පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් දැක මනුෂ්යයෝ ප්රත්යුත්ථාන කෙරෙත් ද, (හුනස්නෙන් නැගිටිත් ද, අභිවාදනා කෙරෙත් ද, අසුන් දෙත් ද, මහණෙනි, එ සමයෙහි එ කුලය උසස් කුලවත් බව සඳහා පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දනට මනුෂ්යයෝ මසුරුමල දුරු කෙරෙත් නම්, මහණෙනි, එ සමයෙහි එ කුලය මහායශෂ්ක (මහයස පිරිවර ඇතිවන) බව සඳහා පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දනට මිනිස්සු ශක්ති වූ පරිදි බල වූ පරිදි දාන සංවිභාග කෙරෙත් නම්, මහණෙනි, එ සමයෙහි එ කුලය මහා භොග පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් සමයෙක්හි මිනිස්සු කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් පරිපෘච්ඡා කෙරෙත් ද, පරිප්රශ්න කෙරෙත් ද, (ඔවුන්ගෙන්) ධර්මය අසත් ද, මහණෙනි, එ සමයෙහි එ කුලය මහා ප්රඥා පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක සිල්වත් පැවිද්දෝ කුලයට එළඹෙත් නම්, එහි මිනිස්සු මෙ කරුණු පසින් බොහෝ පින් ප්රසව (රැස්) කරන්නාහයි.