5. සෝණ වර්‍ගය
5. 4. 5. 1.
[සෝණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, මේ පැරණි බ්‍රාහ්මණධර්‍ම (බමුණු සිරිත්) පසෙක් මෙ කල්හි ශුනකයන් කෙරෙහි දක්නා ලැබෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො දක්නා ලැබෙයි. කවර පසෙක යත්:
මහණෙනි, පෙර බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක කරා ම යෙත්. අබ්‍රාහ්මණියක කරා නොයෙත්. මහණෙනි, මෙකල්හි බ්‍රාහ්මණයෝ බැමිණිය කරා ද යෙත්. නොබැමිණිය කරා ද යෙත්. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ශුනකිය වෙත ම යෙති. අශුනකිය වෙත නො යෙත්. මහණෙනි, මේ පළමුවැනි පැරණි වූ බ්‍රාහ්මණ ධර්‍මය දැන් ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණේ.
මහණෙනි, පෙර බමුණෝ ඔසප්වූ බැමිණිය වෙත ම යෙති, ඔසප් නො වූ බැමිණිය වෙත නොයත්. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ ඔසප් වූ බැමිණිය වෙත ද යෙති. ඔසප් නො වූ බැමිණිය වෙත ද යෙත්. මහණෙනි, මෙ වක්හි ශුනකයෝ ඔසප් වූ ම ශුනකිය වෙත යෙති. ඔසප් නොවූ ශුනකිය වෙත නො යෙත්. මහණෙනි, මේ පෞරාණ බ්‍රාහ්මණ ධර්‍මය මෙ වක්හි ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණේ.
මහණෙනි, පූර්‍වයෙහි බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක ගන්නෝ මිලදී නො ගනිති. දෙන්නෝ නො ම විකුණති. අන්‍යෝන්‍ය සත් (විද්‍යමාන) ප්‍රේමයෙන් ම කුල පරම්පරාව ඝටනු පිණිස සංවාසය පවත්වති. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක මිලදී ද ගනිති, විකුණන්නාහු ද වෙති. අන්‍යෝන්‍ය සත්ප්‍රේම යෙනුදු කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. අසත්ප්‍රෙමයෙනුදු කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ශුනකියක මිලදී නො ම ගනිති. නොම විකුණති. අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් ම කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. මහණෙනි, මේ තෙවන පෞරාණ බ්‍රාහ්මණ ධර්‍මය මෙ කල්හි ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණෙයි.
මහණෙනි, පෙර බමුණෝ ධනය ද ධාන්‍යය ද රිදී ද රන් ද සන්නිධි (රැස්කොට තැබීම) නො කරත්. මහණෙනි, මෙ වක්හි බ්‍රාහ්මණයෝ ධනය ද ධාන්‍යය ද රිදී ද රන් ද සන්නිධි කරත්. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ධනය ද ධාන්‍ය ද රජත ද ජාතරූප ද සන්නිධි නො කරත්. මහණෙනි, මේ පැරණි බ්‍රාහ්මණධර්‍මය මෙ වක්හි බ්‍රාහ්මණයන් කෙරෙහි නොව ශුනකයන් කෙරෙහි මැ දෘශ්‍යමාන වෙයි.
මහණෙනි, පෙර බ්‍රාහ්මණයෝ සායමාශ (සවස කෑම) සඳහා සවස්හි දු ප්‍රාතරාශය (උදය කෑම) සඳහා උදාසන්හි දු භික්‍ෂා සොයා ඇවිදුනාහ. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ කැමති තාක් කුස් පුරා අහර වළඳා අවශේෂය රැගෙණ යෙති. මහණෙනි, මෙකල්හි ශුනකයෝ සායාහනයෙහි සායමාශය සඳහා ද උදාසන්හි ප්‍රාතරාශය සඳහා ද සොයා ඇවිදුනාහ. මහණෙනි, මේ පස්වන පැරණි බ්‍රාහ්මණධර්‍මය මෙ වක්හි ශුනකයන් කෙරෙහි දෘශ්‍යමාන වෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි දෘශ්‍යමාන නො වෙයි.
මහණෙනි, මේ පැරණි බමුණුදහම් පස මෙ කල්හි ශුනකයන් කෙරෙහි දෘශ්‍යමාන වෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි දෘශ්‍යමාන නොවේ යයි.
5. 4. 5. 2.
[දොණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
43. එකල්හි ද්‍රෝණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනාර්‍හ වූ ස්මරණාර්‍හ වූ කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පසෙක හුන් ද්‍රෝණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, “ශ්‍රමණගෞතමයෝ ජරාජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ තුන්වයස් කල් ඉක්ම වූ අන්තිම වියට පැමිණි බ්‍රාහ්මණයන්ට අභිවාදන හෝ නො කෙරෙති. දැක හුනස්නෙන් හෝ නැඟි නො සිටිති. අසුනෙන් හෝ නිමන්ත්‍රණ නො කෙරෙති” යන තෙල කරුණ මා විසින් අසන ලදී. භවත් ගෞතමයෝ ජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ අධ්වගත වූ අන්තිම වයසට පැමිණි බ්‍රාහ්මණයන්ට අභිවාදන හෝ නොකරති, දැක හුනස්නෙන් හෝ නැඟි නොසිටිති, ආසනයෙන් හෝ නිමන්ත්‍රණ නො කරති යන මෙ කරුණ එසේ මැය. භවත් ගෞතමයන් වහන්ස, මෙ කරුණ නො නිසි මැයි.
[භගවත්:]
“ද්‍රෝණයෙනි, තො ද ‘බ්‍රාහ්මණයෙක්මි’යි පිළිණ කෙරෙහි දැ?” යි.
භවත් ගෞතමයන් වහන්ස, මොනවට කරුණු කියනුයෙක් - යම් ම පුද්ගලයකු ගෙණ “මවුපිය දෙපසින් මොනවට උපන්, සත්වන පිතාමහයුගය තෙක් පිරිසිදු මවකුස ඇති, ජාතිවාදයෙන් අක්‍ෂිප්ත වූ අනුපකෘෂ්ට වූ, අධ්‍යායක වූ වේදමන්ත්‍රධර වූ, නිඝණ්ඩු හා ක්‍රියා කල්ප විකල්ප සහිත (ශික්‍ෂා නිරුක්ති සඞ්ඛ්‍යාත) අක්‍ෂර ප්‍රභේද සහිත වූ (අථර්‍වවේදය සිවුවැනි කොට) ඉතිහාසය පස්වනු කොට ඇති ඍග් යජුර් සාම යන තුන් වේදයෙහි පරතෙරපත්, පද හදාරණ ව්‍යාකරණ හදාරණ, ලෝකායත ශාස්ත්‍රයෙහි හා මහාපුරුෂලක්‍ෂණයන්හි අනූන (සමර්‍ත්‍ථ) වූයේ බ්‍රාහ්මණ” යා කියා නම්, භවත් ගෞතමයන් වහන්ස, මනා කොට කියනුයේ එ මා ම ගෙණ කියන්නේ ය.
භවත් ගෞතමයෙනි, “මම් වූකලි මව්පසින් ද පියපසින් ද යන දෙපසින් සුජාත වූ, සත්වන මුත්නා යුගය තෙක් සුපිරිසිදු මව්කුස් ඇති, ජාතිවාදයෙන් ප්‍රතික්‍ෂේප නොකළ, ආක්‍රෝශ නොකළ, වේදමන්ත්‍ර හදාරණ මන්ත්‍රධර වූ, නිඝණ්ඩුකේටුභ සහිත වූ අක්‍ෂරප්‍රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති තුන් වෙදයන්ගේ පරතෙරට ගිය, පද හා ශේෂව්‍යාකරණ හදාරණ විතණ්ඩවාදශාස්ත්‍රයෙහි හා මහාපුරුෂලක්‍ෂණයෙහි අනූන (සම්පූර්‍ණ) බමුණෙකිම් වෙමි” යි.