4. සිවුවැනි පණ්ණාසකය
1. සද්ධම්ම වර්‍ගය
5. 4. 1. 1.
[පළමුවැනි සම්මත්තනියාම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසනුයේ ද කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට (ආර්‍ය්‍යමාර්‍ගයට) බැසගැණීමට අභව්‍ය වෙයි. කවර පසෙකින යත්:
කථාවට පරිභව කෙරෙයි. ධර්‍මකථිකයාට පරිභව කෙරෙයි. තමාට පරිභව කෙරෙයි. එකඟ නො වූ සිත් ඇති වැ වික්‍ෂිප්තචිත්තයෙන් යුක්ත වැ ධර්‍මය අසයි. නුනුවණින් මෙනෙහි කරණුයෙක් ද වේ.
මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වේ.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වැ සද්ධර්‍මය අසන්නේ සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:
කථාවට පරිභව නො කරයි. කථිකයාට පරිභව නො කරයි. තමාට පරිභව නො කරයි. එකඟසිත් ඇතියේ අවික්‍ෂිප්තචිත්තයෙන් යුක්ත වැ ධර්‍මය අසයි. නුවණින් මෙනෙහි කරණුයේ ද වේ.
මහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත වැ සද්ධර්‍මය අසනුයේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාම (ආර්‍ය්‍යමාර්‍ග) යට බස්නට භව්‍ය වේ යයි.
5. 4. 1. 2.
[දෙවැනි සම්මත්තනියාම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මය කෙරෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි. කවර පසෙකින යත්:
කථාවට පරිභව කෙරෙයි. කථිකයාහට පරිභව කෙරෙයි. තමාට පරිභව කෙරෙයි. ජඩවූයේ කෙළතොලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන ඇතියේ වේ.
මහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වේ.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වැ සදහම් අසන්නේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බැසගන්නට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:
කථාවට පරිභව නො කෙරෙයි. කථිකයාහට පරිභව නො කෙරෙයි. තමාහට පරිභව නො කෙරෙයි. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්‍රඥාවත් වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන නැතියේ වේ.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත වූයේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමට (නියත මාර්‍ගයට) බස්නට භව්‍ය වේ යයි.
5. 4. 1. 3.
[තුන්වැනි සම්මත්තනියාම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය නොවේ. කවර පසෙකින යත්:
ගුණමකු වූයේ ගුණමකුසිතින් මඩනා ලදුයේ ධර්‍මය අසයි. උපාරම්භ චිත්ත (වාද නගන සිත්) ඇතියේ සිදුරු සොයන සුලුයේ ධර්‍මය අසයි. තදබැව් ඇතියේ ධර්‍ම දේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් ඝැටුනු සිතැත්තේ වෙයි. ජඩ වූයේ කෙළතොලු වූයේ දුෂ්ප්‍රඥ වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන ඇතියේ වෙයි.
මහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත වූයේ ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ දහම් අසන්නේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:
ගුණමකු නො වූයේ ගුණමකු සිතින් නො මැඩුනේ දහම් අසයි. උපාරම්භචිත්ත රහිත වූයේ රන්ඩ්‍රගවේෂී නො වූයේ දහම් අසයි. ධර්‍මදේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් නො ඝැටුනු සිතැතියේ තදබැව් නැතියේ වෙයි. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්‍රඥාවත් වෙයි. නො දත් දැයෙහි ‘දත්මි’ යන මාන නැතියේ වෙයි.
මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ව දහම් අසනුයේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වේ යයි.
5. 4. 1. 4.
[පළමුවැනි සද්ධම්මසම්මෝස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය (වනඝ) පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහු සකස් කොට දහම් නො අසති. සකස් කොට දහම් නො පිරිවහති. සකස් කොට දහම් නො ධරති. සකස් කොට ධැරූ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පරීක්‍ෂා නො කරති. සකස් කොට අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මය නො පිළිපදිත්.
මහෙණනි, මෙ කාරණයෝ පස්දෙන සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහයි.