5. 4. 5. 8.
[සුභාසිතවාචා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වචනය සුභාෂිතය වෙයි. දුර්‍භාෂිත නො වෙයි, අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් නො ගැරැහිය යුතු ද වෙයි. කවර පසෙකින් යත්:
කාලභාෂිතද (නිසි කල්හි කියනලදුයේ) වෙයි. සත්‍යභාෂිත ද වෙයි. ශලක්‍ෂණභාෂිත ද (සිලුටු වචන) වෙයි. අර්‍ත්‍ථසංහිත භාෂිත ද වෙයි. මෙත් සිතින් (කියන) භාෂිත ද වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත වචනය සුභාෂිත වෙයි, දුර්‍භාෂිත නො වෙයි, නිරවද්‍ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහිය යුතු ද වේ යයි.
5. 4. 5. 9.
[කුල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, යම් කලෙක සිල්වත් පැවිද්දෝ කුලයකට එළඹෙත් නම්, එහි මිනිස්සු කරුණු පසෙකින් බොහෝ පින් ප්‍රසව කෙරෙත්. කවර පසෙකින් යත්:
මහණෙනි, යම් කලෙක මිනිස්සු කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් දැක සිත් පහදවත් නම්, මහණෙනි, එ කුලය එ සමයෙහි ස්වර්‍ගය පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් දැක මනුෂ්‍යයෝ ප්‍රත්‍යුත්‍ථාන කෙරෙත් ද, (හුනස්නෙන් නැගිටිත් ද, අභිවාදනා කෙරෙත් ද, අසුන් දෙත් ද, මහණෙනි, එ සමයෙහි එ කුලය උසස් කුලවත් බව සඳහා පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දනට මනුෂ්‍යයෝ මසුරුමල දුරු කෙරෙත් නම්, මහණෙනි, එ සමයෙහි එ කුලය මහායශෂ්ක (මහයස පිරිවර ඇතිවන) බව සඳහා පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දනට මිනිස්සු ශක්ති වූ පරිදි බල වූ පරිදි දාන සංවිභාග කෙරෙත් නම්, මහණෙනි, එ සමයෙහි එ කුලය මහා භොග පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් සමයෙක්හි මිනිස්සු කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් පරිපෘච්ඡා කෙරෙත් ද, පරිප්‍රශ්න කෙරෙත් ද, (ඔවුන්ගෙන්) ධර්‍මය අසත් ද, මහණෙනි, එ සමයෙහි එ කුලය මහා ප්‍රඥා පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක සිල්වත් පැවිද්දෝ කුලයට එළඹෙත් නම්, එහි මිනිස්සු මෙ කරුණු පසින් බොහෝ පින් ප්‍රසව (රැස්) කරන්නාහයි.
5. 4. 5. 10.
[නිස්සාරණීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, මේ නිස්සාරණීය ධාතුහු (නික්මීමෙහි - වෙන්වීමෙහි ධර්‍ම) පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි කාමයන් මෙනෙහි කරණ මහණහුගේ සිත කාමයන්හි නො බැසගන්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත (මිදුනේ) නො වන්නේ ය. (අශුභයෙහි ප්‍රථමධ්‍යාන සඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍යය මෙනෙහි කරණ ඔහුගේ සිත එහි බැසගන්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනොවට අශුභභාවනාවට ගියේ සුභාවිත වූයේ කාමයන්ගෙන් මොනවට නැඟීසිටියේ කාමයන්ගෙන් මොනොවට මිදුනේ කාමයන් කෙරෙන් මොනවට විසංයුක්ත වූයේ වෙයි. කාමයන් හේතුකොට දුක් වූ පරිදාහ ඇති යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හේ ඔවුන්ගෙන් මුක්ත වෙයි. හෙ එ කාමවේදනා නො විඳුනේ ය. මෙ (අශුභධ්‍යානය) කාමයන්ගේ නිඃසරණය යි කියන ලද.
තවද මහණෙනි, ව්‍යාපාදය මෙනෙහි කරණ භික්‍ෂුහුගේ සිත ව්‍යාපාදයෙහි නො හෙයි. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. අව්‍යාපාදය මෙනෙහි කරණ ඔහුගේ සිත (මෛත්‍රීධ්‍යාන සඞ්ඛ්‍යාත) අව්‍යාපාදයෙහි පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ ඒ මෛත්‍රීධ්‍යාන චිත්තය මොනවට මෛත්‍රීධ්‍යානයට ගියේ සුභාවිත වූයේ මොනවට ව්‍යාපාදයෙන් නැඟී සිටියේ මොනවට අධිමුක්ත වූයේ ව්‍යාපාදයෙන් මොනවට විසංයුක්ත වෙයි. ව්‍යාපාදප්‍රත්‍යයයෙන් යම් දුඃඛපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හෙ එයින් මුක්ත වෙයි. හෙ ඒ ව්‍යාපාදවේදනාව නො විඳුනේ ය. මෙ මෛත්‍රීධ්‍යාන ව්‍යාපාදනිඃසරණය යි කියන ලද.
තවද මහණෙනි, විහිංසාව මෙනෙහි කරණ භික්‍ෂුහුගේ සිත විහිංසායෙහි නො බස්නේ ය. එහි නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. (කරුණාධ්‍යාන සඞ්ඛ්‍යාත) අවිහිංසාව මෙනෙහි කරණ ඔහුගේ සිත කරුණාධ්‍යාන සඞ්ඛ්‍යාත අවිහිංසායෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. මොනවට කරුණාවට ගිය ඔහුගේ එ සිත සුභාවිතය. මොනවට නැඟී සිටියේ ය. සුවිමුක්ත ය. විහිංසායෙන් මොනවට විසංයුක්ත ය. විහිංසාප්‍රත්‍යයයෙන් දුඃඛපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හෙ ඔවුන්ගෙන් මුක්ත වයි. හෙ එ විහිංසා වේදනාව නො විඳුනේ ය. මේ කරුණාධ්‍යානය විහිංසාවගේ නිඃසරණය යි.
තවද මහණෙනි, රූපය මෙනෙහි කරණ භික්‍ෂුහුගේ චිත්තය රූපයෙහි නො බස්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. අරූපාරම්මණය මෙනෙහි කරණ ඔහුගේ සිත අරූපධ්‍යානයෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනවට අරූපධ්‍යානයට ගියේ සුභාවිත වූයේ මොනවට නැඟී සිටියේ සුවිමුක්ත වූයේ රූපයන්ගෙන් මොනවට විසංයුක්ත වෙයි. රූප ප්‍රත්‍යය කොට දුඃඛපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් , හෙ ඔවුන්ගෙන් මුක්ත වෙයි. හෙතෙම එ වේදනා නො විඳුනේ ය. මෙ අරූප ධ්‍යානය රූපයන්ගේ නිස්සරණය යි කියන ලද.