5. 4. 5. 6.
[මහාසුපින සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම චතුස්සත්‍යාවබෝධය නො කළ බෝධිසත්‍ව වූවන්ට ම පඤ්චමහා ස්වප්න කෙනෙක් පහළවූහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්‍ව වූවන්ට ම මෙ මහපොළොව මහ යහන් විය, හිමවූපවුරද කන්වයින් විය. පැදුම් සමුදුරෙහි වම්අත තබන ලදුයේ (පැදුම් සක්වළමත පිහිටියේ) විය. පැළදිග සමුදුරෙහි දකුණත තබන ලදුයේ (පැළදිගැ සක්වළමත පිහිටියේ) විය. දකුණු මුහුදෙහි උභයපාදයෝ තබන ලදහු දකුණු සක්වළමත පිහිටියහ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවන්ට ම මෙ ප්‍රථම මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම තිරිය නම් තෘණජාතියෙක් (බබුස් තණ) නැබින් පැනනැඟී අහසැ පැතිරැ සිටියේ විය. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට මැ මේ ද්විතීය මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්‍ව වූවනට ම කළුහිස් ඇති ශ්වේත කෘමිහු (පණුවෝ) දෙපසින් නැඟී දණමඬුලු තෙක් වසා සිටගත්හ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට මැ මේ තෘතීය මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට නීලාදි නන් පැහැ ඇති සතර ලිහිණි කෙනෙක් සිව්දිගින් අවුදු පාමුල හෙවැ සර්‍වශ්වේතව ගියහ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට මැ මේ සතරවන මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවාහු ම මහාමීඨ (තියොදුන් වර්චස්) පර්‍වතමස්තකයෙක්හි මීඨයෙන් නො තැවරෙමින් සක්මන් කරන්නාහ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම මේ පස්වන මහාස්වප්නය පහළ විය.
මහණෙනි, යම්හෙයෙකින් තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම මේ මහපොළොව යහන් වී ද, හිමව්පව්රද කන්වයින් වී ද, පෙරදිග මහසයුරෙහි වම්අත තබන ලද වී ද, පැළදිග සයුරෙහි දකුණත තබන ලද වී ද, දකුණුමුහුදෙහි දෙපා තබන ලද වී ද, මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධතථාගතයන් වහන්සේ විසින් අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කරණලද නම් ඒ අභිසම්බෝධියට (සර්‍වඥතා ඥාන, අනාවරණ ඥාන ආදියට) (පූර්‍වනිමිත්ත වූ) මේ ප්‍රථම මහාස්වප්නය පහළ විය.
මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට නැබින් තිරිය නම් තෘණජාතියෙක් පැනනැඟී අහස්හි පැතිරැ සිටියේ වී ද, මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් විසින් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය අවබෝධ කොට යම්තාක් (නුවණැති) දෙවිමිනිසුන් කෙරෙහි මොනවට ප්‍රකාශ කරණ ලද නම්, ඒ ප්‍රකාශයාගේ අභිසම්බොධයට (පෙරනිමිති වූ) මෙ දෙවන මහා ස්වප්නය පහළ වීය.
තවද මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම කළුහිස් ඇති සුදු කෘමීහු දෙපසින් නැඟී දණමඬල තෙක් වසාසිටගත්හු නම්, මහණෙනි, සුදුවත් හඳනා බොහෝ ගිහියෝ තථාගතයන් දිවිහිම් කොට සරණ ගියාහු නම්, ඒ සරණගමනයාගේ අභිසම්බොධයට මේ තෙවන මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම සිවුදිගින් නන්පැහැ ඇති ලිහිණියෝ සතරදෙනෙක් අවුත් අනභිසම්බුද්ධ වූ බෝධිසත්‍වයන්ගේ පාමුල්හි හෙව සර්‍වශ්වේත වූවාහු නම්, මහණෙනි, ක්‍ෂත්‍රියයහ, බ්‍රාහ්මණයහ, වෛශ්‍යයහ, ශුද්‍රයහ යන මේ සතර වර්‍ණයෝ වෙත් නම් ඔහු ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත වූ ධර්‍මවිනය සඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදිව අනුත්තර වූ විමුක්තිය සාක්‍ෂාත් කරන්නාහු නම්, එ අභිසම්බොධයට මේ සතරවන මහාස්වප්නය පහළ විය.