5. 4. 5. 5.
[පිඞ්ගියානී සූත්රය]
46. එක් කලෙක භාග්යවතුන් වහන්සේ වෛශාලී නගරාසන්නයෙහි වූ මහාවනයෙහි කූටාගාරසාලායෙහි වැඩවසන සේක. එසමයෙහි පන්සියක් පමණ ලිච්ඡවීහු භාග්යවතුන් වහන්සේ පර්ය්යුපාසනා කරත්. ඇතැම් ලිච්ඡවීහු නීලවූවාහු නිල්පැහැ ඇත්තාහු නිල්වත් ඇත්තාහු නිල් අබරණ ඇතියාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු පීත (කහ) වූවාහු පීතවර්ණ ඇත්තාහු පීතවස්ත්ර හැඳියාහු පීතාලඞ්කාර ඇතියාහු වෙති. ඇතැම් ලිච්ඡවීහු ලෝහිත (ලේ පැහැ) වූවාහු ලෝහිත වර්ණ ඇත්තාහු ලෝහිතවස්ත්ර ඇත්තාහු ලොහිතාලඞ්කාර ඇතියාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු අවදාත (සුදු) වූවාහු අවදාතවර්ණ ඇත්තාහු අවදාතවස්ත්ර ඇත්තාහු අවදාතලඞ්ඛාර ඇත්තාහු වෙත්. භාග්යවතුන් වහන්සේ වර්ණයෙනුදු යශසිනුදු ඔවුන් හැම ඉක්මවා බබලන සේක.
ඉක්බිති පිඞ්ගියානී බ්රාහ්මණ හුනස්නෙන් නැඟී උතුරු සළුව එකස් කොටලා භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වැඳ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “භාග්යවතුන් වහන්ස, මට වැටහෙයි, සුගතයන් වහන්ස, මට වැටහේ” යයි.
පිඞ්ගියානිය, තට වැටහේවායි භාග්යවතුන් වහන්සේ වදාළහ.
ඉක්බිති පිඞ්ගියානී බ්රාහ්මණ භාග්යවතුන් හමුවෙහි සාරුප්ය ගාථායෙන් ස්තෝත්ර කෙළේය:
99. “උදාසන්හි පිපි නොහළ සුවඳැති කොකනද සඞ්ඛ්යාත සුවඳවත් රත්පියුමෙක් යම්සේ වේ නම්, එසේ වූ අහස්හි තෙවුනා හිරුමෙන් වොරදනා අඞ්ගීරස (සිරුරු රැස් විහිදෙන) බුදුන් බලව” යි.
එකල්හි එ ලිච්ඡවීහු පන්සියත් උතුරුසළුයෙන් පිඞ්ගියානී බමුණු පිදූහ. එකල්හි පිඞ්ගියානී බ්රාහ්මණ එ උතුරු සළු පන්සියෙන් භාග්යවතුන් වහන්සේ පිදී.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ එ ලිච්ඡවීනට තෙල වදාළසේක.
ලිච්ඡවීනි, ලොව්හි රත්නපස්දෙනකුන්ගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. කවර පස්දෙනකුගේය යත්:
තථාගත අර්හත් සම්යක්සම්බුද්ධයන්ගේ ලොව්හි ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. තථාගත ප්රවිදිත වූ ධර්මවිනය දෙසන පුද්ගල ලොව්හි දුර්ලභ වෙයි. දෙසන ලද තථාගත ප්රවිදිත ධර්මවිනය දැනගන්නා පුද්ගල ලොව්හි දුර්ලභ වෙයි. දෙසන ලද තථාගත ප්රවිදිත ධර්මවිනය දැනගත් ධර්මානුධර්මයෙහි පිළිපන් පුද්ගල ලොව්හි දුර්ලභ වෙයි. කෘතඥවූ කෘතවේදී පුද්ගල ලෝකයෙහි දුර්ලභ වේ වෙයි.
ලිච්ඡවීනි, ලෝකයෙහි මේ පඤචරතනයන්ගේ ප්රාදුර්භාවය දුර්ලභ වේ යයි.
5. 4. 5. 6.
[මහාසුපින සූත්රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම චතුස්සත්යාවබෝධය නො කළ බෝධිසත්ව වූවන්ට ම පඤ්චමහා ස්වප්න කෙනෙක් පහළවූහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්ව වූවන්ට ම මෙ මහපොළොව මහ යහන් විය, හිමවූපවුරද කන්වයින් විය. පැදුම් සමුදුරෙහි වම්අත තබන ලදුයේ (පැදුම් සක්වළමත පිහිටියේ) විය. පැළදිග සමුදුරෙහි දකුණත තබන ලදුයේ (පැළදිගැ සක්වළමත පිහිටියේ) විය. දකුණු මුහුදෙහි උභයපාදයෝ තබන ලදහු දකුණු සක්වළමත පිහිටියහ. මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයනට සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවන්ට ම මෙ ප්රථම මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට ම තිරිය නම් තෘණජාතියෙක් (බබුස් තණ) නැබින් පැනනැඟී අහසැ පැතිරැ සිටියේ විය. මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට මැ මේ ද්විතීය මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්ව වූවනට ම කළුහිස් ඇති ශ්වේත කෘමිහු (පණුවෝ) දෙපසින් නැඟී දණමඬුලු තෙක් වසා සිටගත්හ. මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූවනට මැ මේ තෘතීය මහාස්වප්නය පහළ විය.