5. 4. 5. 4.
[කාරණපාලී සූත්රය]
45. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ විසල්පුර අසල මහාවන කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එසමයෙහි කාරණාපාලී බ්රාහ්මණ ලිච්ඡවීන්ගේ නවකර්මාන්ත කරවයි.
කාරණපාලී බ්රාහ්මණ දුරදී මැ එන පිඞ්ඟීයානී බ්රාහ්මණයා දුටුයේ ය. දැක පිඞ්ඟීයානී බ්රාහ්මණහට තෙල කීය:
භවත් පිඞඟියානී ඉතා දවල් කොහි සිට එන්නේදැ යි?
භවත්නි, මම මේ ශ්රමණ භවත් ගෞතමයන් වහන්සේ වෙතින් එඹි යි.
භවත් පිඞ්ඟීයානී තෙමේ එ භවත් ගෞතමයන් වහන්සේගේ ප්රඥාවෛයක්ත්යය කිමැ යි හඟනේ ද? හේ පණ්ඩිතයැ යි හඟනේ දැ? යි.
භවත්නි, මම කවරෙකිම්, කිසෙයින් ශ්රමණ ගෞතමයන් වහන්සේගේ ප්රඥා හා වියත්කම් දනිම් දැ? යි. යමෙක් ශ්රමණ ගෞතමයන් වහන්සේගේ ප්රඥාවෛයක්ත්යය දන්නේ නම්, හේ එකැතින් එබඳු ම වේ යයි.
භවත් පිඞ්ඟීයානී උදාර ප්රශංසායෙන් මහණගොයුම්හු පසස්නේ ය යි.
භවත්නි, මම කවරෙකිම්, කිසෙයින් මහණගොයුම්හු පසස්නෙම් ද? දේවමනුෂ්යයනට ශ්රේෂ්ඨ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ ප්රශස්ත ගුණයන් විසින් ම ප්රශස්තයහ.
භවත් පිඞ්ඟීයානී කවර කරුණක් දක්නේ මහණගොයුම්හු කෙරෙහි මෙ සෙයින් අභිප්රසන්න වේ දැ?” යි.
භවත්නි, යම් පරිද්දෙකින් අග්රරසයන්හි පරිතෘප්ත පුරුෂයෙක් අන්ය හීනරසයනට කැමති නො වේ ද, භවත්නි, එ පරිදිදෙන් ම ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය සූත්ර විසින් හෝ ගෙය විසින් හෝ වෛයාකරණ විසින් හෝ අද්භූතධර්ම විසින් හෝ සූත්රාදි යම් යම් ම කරුණෙකින් අසා නම්, එ එ කරුණෙන් අන්ය වූ නානා ශ්රමණ බ්රාහ්මණයන්ගේ (ලබ්ධිසඞ්ඛ්යාත) ප්රවාදයන් නො පතාමැයි. (1)
භවත්නි, යම් සේ පුරුෂයෙක් ජිඝත්සායෙන් හා දුර්වලභාවයෙන් මැඩුනේ මීවදයක් ලබානම්, හේ එය යම් මැ තැනෙකින් එහි රස විඳුනේ නම් අතෘප්තිකර මියුරු රස ලබන්නේ ම ය. භවත්නි, එසෙයින් ම සූත්ර විසින් වේව යි ගෙය විසින් වේව යි වෛයාකරණ විසින් වේව යි අද්භූත ධර්ම විසින් වේවයි යම් ම කරුණෙකින් එ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය අසා නම්, එ එ කරුණින් සොම්නස ලබා මැයි. චිත්තප්රසාදය ලබා මැයි. (2)
පින්වත, යම් සේ පුරුෂයෙක් සුදුසඳුන් වේවයි, රත්සඳුන් වේවයි, සඳුන්ගැටක් ලබා නම්, හේ එය මුලින් වේවයි මැදින් වේවයි අගින් වේවයි යම් ම තැනෙකින් ආඝ්රාණය කෙරේ නම්, අතෘප්තිකර සුගන්ධය ලබාම ය. පින්වත, එසෙයින් ම සූත්ර විසින් වේවයි ගෙය විසින් වේවයි වෛයාකරණ විසින් වේවයි අද්භූතධර්ම විසින් වේවයි යම් ම අයුරෙකින් එ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය අසා නම්, එ එ අයුරින් ප්රාමෝද්යය ලබාම ය. සොම්නස ලබයි. (3)
පින්වත, යම් සේ රෝගී වූ දුකට පත් වූ දැඩි ගිලන්බව් ඇති පුරුෂයෙක් වේ ද, දක්ෂ වෛද්යයෙක් ඔහුගේ රෝගය කෙණෙකින් බැහැරලන්නේ නම්, පින්වත එ පරිද්දෙන් ම සූත්ර විසින් හෝ ගෙය විසින් හෝ වෛයාකරණ විසින් හෝ අද්භූතධර්ම විසින් හෝ යම් ම කරුණෙකින් එ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය අසා නම්, එ එ කරුණෙන් ම ශෝක පරිදේව දුඃඛදෞර්මනස්ය උපායාසයෝ මොනවට අස්තයට යන්නාහ. (4)
පින්වත, යම් සේ පහන් දියැති මියුරු දියැති සුදු වැලිතලා ඇති මනා තොටු ඇති සිත්කලු පොකුණක් වේ නම්, වැලිත් ගිමින් තැවුනු ගිමින් මැඩුණු ක්ලාන්ත වූ තෘෂිත වූ පැන්බොනු කැමති පුරුෂයෙක් එයි, හෙ එ පොකුණට බැස පැන් සනහා පැන් බී හැම දරථක්ලමථූපරිදාහය සන්සිඳුවන්නේ ය, පින්වත, එ සෙයින් ම සූත්ර විසින් වේවයි ගෙය විසින් වේවයි වෛයාකරණ විසින් වේවයි අද්භූතධර්ම විසින් වේවයි යම් ම කරුණෙකින් එ භවත් ගෞතමයන් වහන්සේ ගේ ධර්මය අසා නම්, එ එ කරුණෙන් සර්වදරථක්ලමථුපරිදාහයෝ සන්හිඳෙන්නාහයි. (5)
මෙසේ කී කල්හි කාරණපාලී බ්රාහ්මණ හුනස්නෙන් නැඟී උතුරුසළුව එකස් කොටලා දකුණුදණමඬල පොළොව්හි පිහිටුවා භාග්යවතුන් වහන්සේ දසට ප්රණාම කොට තෙවරක් උදන් ඇනී ය: “එ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. එ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. එ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” යි.
භවත් පිඞ්ගියානියෙනි, ඉතා කාන්ත වෙයි. භවත් පිඞ්ගියානියෙනි, ඉතා කාන්ත වෙයි. භවත් පිඞ්ගියානියෙනි, යම් සේ යටිහුරු කොට තබනලද්දක් උඩුහුරු කොට තබන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළාවුවකුහට මඟ කියන්නේ හෝ වේ ද, “චක්ෂුර්මත්හු රූ දක්නාහ” යි අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ ද, එලෙසින් ම භවත් පිඞ්ගියානිහු විසින් නන් අයුරින් ධර්මය ප්රකාශ කරණ ලද්දේ ය. භවත් පිඞ්ගියානියෙනි, තෙල මම ඒ භවත් ගෞතමයන් වහන්සේ හා ධර්මය හා භික්ෂුසඞ්ඝයා හි සරණකොට යෙමි. භවත් පිඞ්ගියානී තෙමේ අද පටන් කොට මා දිවිහිම්ව (තුනුරුවන්) සරණගිය උපාසක කොට ධරාවායි.
5. 4. 5. 5.
[පිඞ්ගියානී සූත්රය]
46. එක් කලෙක භාග්යවතුන් වහන්සේ වෛශාලී නගරාසන්නයෙහි වූ මහාවනයෙහි කූටාගාරසාලායෙහි වැඩවසන සේක. එසමයෙහි පන්සියක් පමණ ලිච්ඡවීහු භාග්යවතුන් වහන්සේ පර්ය්යුපාසනා කරත්. ඇතැම් ලිච්ඡවීහු නීලවූවාහු නිල්පැහැ ඇත්තාහු නිල්වත් ඇත්තාහු නිල් අබරණ ඇතියාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු පීත (කහ) වූවාහු පීතවර්ණ ඇත්තාහු පීතවස්ත්ර හැඳියාහු පීතාලඞ්කාර ඇතියාහු වෙති. ඇතැම් ලිච්ඡවීහු ලෝහිත (ලේ පැහැ) වූවාහු ලෝහිත වර්ණ ඇත්තාහු ලෝහිතවස්ත්ර ඇත්තාහු ලොහිතාලඞ්කාර ඇතියාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු අවදාත (සුදු) වූවාහු අවදාතවර්ණ ඇත්තාහු අවදාතවස්ත්ර ඇත්තාහු අවදාතලඞ්ඛාර ඇත්තාහු වෙත්. භාග්යවතුන් වහන්සේ වර්ණයෙනුදු යශසිනුදු ඔවුන් හැම ඉක්මවා බබලන සේක.
ඉක්බිති පිඞ්ගියානී බ්රාහ්මණ හුනස්නෙන් නැඟී උතුරු සළුව එකස් කොටලා භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වැඳ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “භාග්යවතුන් වහන්ස, මට වැටහෙයි, සුගතයන් වහන්ස, මට වැටහේ” යයි.
පිඞ්ගියානිය, තට වැටහේවායි භාග්යවතුන් වහන්සේ වදාළහ.