5. 4. 5. 3.
[සඞ්ගාරව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
44. එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනයට නිසි සමරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළේ ය.
භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් ඇතැම් කලෙක දිගුකලක් හදාළ වේදමන්ත්‍රයෝ ද නොවැටහෙත් නම්, නොහදාළ මන්ත්‍රයෝ පළමුව ම නොවැටහෙත් නම්, එයට කවර හේතු ය? කවර ප්‍රත්‍යය යැයි? භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් ඇතැම් කලෙක බොහෝ කලක් නො හදාළ මන්ත්‍රයෝත් වැටහෙත් නම්, හදාළ මන්ත්‍රයෝ පළමුව ම වැටහෙත් නම්, එයට කවර හේතු ය? කවර ප්‍රත්‍යය යැයි?
බ්‍රාහ්මණය, යම් සමයෙක්හි කාමරාගයෙන් ඇවිසැගත් කාමරාගයෙන් මැඩුනු සිතින් වාසය කෙරේ නම්, උපන්නා වූ ද කාමරාගයාගේ යථාභූත නිඃසරණය නොදන්නේ නම්, එ සමයෙහි ආත්මාර්‍ත්‍ථය ද යථාභූත කොට නොදන්නේ ය, නොදක්නේ ය. එ සමයෙහි පරාර්‍ත්‍ථය ද යථාභූත කොට නොදන්නේ ය, නොදක්නේ ය. එ සමයෙහි උභයාර්‍ත්‍ථය ද යථාභූත කොට නොදන්නේ ය. නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි හදාළ වේදමන්ත්‍රයෝ නො වැටහෙත්, නොහදාළ වේදමන්ත්‍රයෝ පළමුව මැයි. බ්‍රාහ්මණය, යම්සේ ලතුපැහැයෙන් වේවයි, කසාපැහැයෙන් වේවයි, නිල්පැහැයෙන් වේවයි, මඳටිය පැහැයෙන් වේවයි, මුසු වූ දියබඳුනෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් සිය මුව සටහන් පිරික්සනුයේ යථාවයෙන් නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් සමයෙක්හි කාමරාගයෙන් ඇවිසැගත් කාමරාගයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් කාමරාගයාගේ යථාභූත නිඃසරණය නොදන්නේ නම්, ආත්මාර්‍ත්‍ථය ද … පරාර්‍ත්‍ථය ද … උභයාර්‍ත්‍ථය ද ... එ සමයෙහි යථාවයෙන් නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි සජ්ඣායනා කළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්, සජ්ඣායනා නො කළ මන්ත්‍රයෝ ද පළමුව මැයි.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක ව්‍යාපාදයෙන් ඇවිසැගත් ව්‍යාපාදයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිස්සරණය ද තත්වූ පරිදි නොදන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයද ... පරාර්‍ත්‍ථය ද .... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි ස්වාධ්‍යායී කෘත මන්ත්‍රයෝ ද නො වැටහෙත්. අස්වාධ්‍යායීකෘතමන්ත්‍රයෝ පළමුව මැයි. බ්‍රාහ්මණය, යම්සේ ගින්නෙන් තැවුනු කකාළ උණුසුම් වූ දියබදනෙක් වේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛ නිමිත්ත පිරික්සන්නේ තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ව්‍යාපාදයෙන් ඇවිසැගත් ව්‍යාපාදයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිඃසරණයත් තත්වූ පරිදි කොට නොදන්නේ නම්, අත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නො දන්නේ ය. නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි අධ්‍යයන කළ වේදමන්ත්‍රයෝ ද නො වැටහෙත්, අධ්‍යයන නො කළ මන්ත්‍රයෝ පළමුව මැයි.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක්හි ථිනමිද්ධයෙන් වැතිරගත් ථිනමිද්ධයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ථිනමිද්ධයාගේ යථාභූත නිඃසරණයත් නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි යථාභූතයෙන් නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි අධ්‍යයන කළ මන්ත්‍රයෝ නො වැටහෙත්. අධ්‍යයන නො කළ මන්ත්‍රයෝ කැල මැයි. බ්‍රාහ්මණය, යම්සේ සෙවෙලින් හා පෙඳින් හා වැතිරගත් දියබඳුනෙක් වේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සන්නේ තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ථිනමිද්ධයාගේ නිඃසරණයත් තත්වූ පරිදි නො දන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නො දන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්, නොහදාළ මන්ත්‍රයෝ කැල මැයි.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක්හි උද්ධච්චකුක්කුච්චයෙන් වැළඳගත් උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු සිතින් වාසය කෙරේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නො දක්නේ ය. දීර්‍ඝකාලයක් හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්. නො හදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කිම? බ්‍රාහ්මණය, වාතයෙන් කම්පිත වූ සැලුනු භ්‍රාන්ත වූ හටගත් රළ ඇති දියබඳුනෙක් යම්සේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලනුයේ යථාභූතයෙන් නො දන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක් හි උද්ධච්චකුක්කුච්චයෙන් වැතිරැගත් උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ... ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් ... උභයාර්‍ත්‍ථයත් එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝකාලයක් හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කිම?
තවද, බ්‍රාහ්මණය, යම් කලෙක්හි විචිකිච්ඡායෙන් වැතිරැගත්, විචිකිච්ඡායෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් ... උභයාර්‍ත්‍ථයත් එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දිගුකලක් හදාළ වේදමන්ත්‍රයෝ ද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කවරේද? බ්‍රාහ්මණය, යම්සේ නොපහන්වූ කැලැඹුණු බොරවූ දියබඳුනෙක් අඳුරෙහි තබන ලදුයේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පරික්‍ෂා කරණුයේ තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක විචිකිච්ඡායෙන් වැතිරැගත් විචිකිච්ඡායෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දිගුකලක් හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කිම?