5. 4. 5. 2.
[දොණ සූත්රය]
[සැවැත්නිදාන යි]
43. එකල්හි ද්රෝණ බ්රාහ්මණ භාග්යවතුන් කරා එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනාර්හ වූ ස්මරණාර්හ වූ කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පසෙක හුන් ද්රෝණ බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළකෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, “ශ්රමණගෞතමයෝ ජරාජීර්ණ වූ වෘද්ධ වූ මහලු වූ තුන්වයස් කල් ඉක්ම වූ අන්තිම වියට පැමිණි බ්රාහ්මණයන්ට අභිවාදන හෝ නො කෙරෙති. දැක හුනස්නෙන් හෝ නැඟි නො සිටිති. අසුනෙන් හෝ නිමන්ත්රණ නො කෙරෙති” යන තෙල කරුණ මා විසින් අසන ලදී. භවත් ගෞතමයෝ ජීර්ණ වූ වෘද්ධ වූ මහලු වූ අධ්වගත වූ අන්තිම වයසට පැමිණි බ්රාහ්මණයන්ට අභිවාදන හෝ නොකරති, දැක හුනස්නෙන් හෝ නැඟි නොසිටිති, ආසනයෙන් හෝ නිමන්ත්රණ නො කරති යන මෙ කරුණ එසේ මැය. භවත් ගෞතමයන් වහන්ස, මෙ කරුණ නො නිසි මැයි.
[භගවත්:]
“ද්රෝණයෙනි, තො ද ‘බ්රාහ්මණයෙක්මි’යි පිළිණ කෙරෙහි දැ?” යි.
භවත් ගෞතමයන් වහන්ස, මොනවට කරුණු කියනුයෙක් - යම් ම පුද්ගලයකු ගෙණ “මවුපිය දෙපසින් මොනවට උපන්, සත්වන පිතාමහයුගය තෙක් පිරිසිදු මවකුස ඇති, ජාතිවාදයෙන් අක්ෂිප්ත වූ අනුපකෘෂ්ට වූ, අධ්යායක වූ වේදමන්ත්රධර වූ, නිඝණ්ඩු හා ක්රියා කල්ප විකල්ප සහිත (ශික්ෂා නිරුක්ති සඞ්ඛ්යාත) අක්ෂර ප්රභේද සහිත වූ (අථර්වවේදය සිවුවැනි කොට) ඉතිහාසය පස්වනු කොට ඇති ඍග් යජුර් සාම යන තුන් වේදයෙහි පරතෙරපත්, පද හදාරණ ව්යාකරණ හදාරණ, ලෝකායත ශාස්ත්රයෙහි හා මහාපුරුෂලක්ෂණයන්හි අනූන (සමර්ත්ථ) වූයේ බ්රාහ්මණ” යා කියා නම්, භවත් ගෞතමයන් වහන්ස, මනා කොට කියනුයේ එ මා ම ගෙණ කියන්නේ ය.
භවත් ගෞතමයෙනි, “මම් වූකලි මව්පසින් ද පියපසින් ද යන දෙපසින් සුජාත වූ, සත්වන මුත්නා යුගය තෙක් සුපිරිසිදු මව්කුස් ඇති, ජාතිවාදයෙන් ප්රතික්ෂේප නොකළ, ආක්රෝශ නොකළ, වේදමන්ත්ර හදාරණ මන්ත්රධර වූ, නිඝණ්ඩුකේටුභ සහිත වූ අක්ෂරප්රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති තුන් වෙදයන්ගේ පරතෙරට ගිය, පද හා ශේෂව්යාකරණ හදාරණ විතණ්ඩවාදශාස්ත්රයෙහි හා මහාපුරුෂලක්ෂණයෙහි අනූන (සම්පූර්ණ) බමුණෙකිම් වෙමි” යි.
ද්රෝණය, බමුණන්ගේ මන්ත්රකර්තෘ වූ මන්ත්රප්රවර්තක වූ යම් පූර්ව ඍෂි කෙනෙක් වෙද්ද, යම් ඍෂි කෙනකුන් සතු වූ (ඔවුන් විසින් සරසම්පත්තියෙන්) ගයන ලද, (අන්යයන්ට) කියන ලද, රැස් කොට තබන ලද මේ පැරණි වේදසඞ්ඛ්යාත මන්ත්රය මෙකල බමුණෝ ඒ පූර්ව ඍෂින්ට අනුව ගයත් ද, ඔවුනට අනුව (ඔවුන් විසින් කියන ලද්ද අනුව) කියත් ද, හදාරණ ලද්ද අනුව හදාරත් ද, කියවන ලද්ද අනුව කියවත් ද, ඔහු කවරහ: අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගී ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය යන මොහු (දස දෙන) යි. ඔවුහු මේ පස් බමුණු කෙනකුන් පණවති. බ්රහ්මසම ය, දෙවසම ය, මරියාද ය, සම්භිත්තමරියාද ය, බ්රාහ්මණචණ්ඩාලයාම පස්වනු ය. ද්රෝණය, ඔවුනතුරෙන් තෙපි කවරැ යි?
භවත් ගෞතමයෙනි, ඇපි මේ පස්බමුණන් නො දනුම්හ. එතෙකුදුවත් ඇපි බ්රාහ්මණ යයි ම දනුම්හ. යම්සේ මම් මේ පස්බමුණන් දැනගනීම් ද, භවත් ගෞතමයන් වහන්සේ මට එපරිද්දෙන් දහම් දෙසන සේක්වා! එ පිණිස අයදිමියි.
එසේ නම් බමුණ, අස. මැනවින් මෙනෙහි කර. කියන්නෙමියි. ‘එසේ ය භවත්නි’ යි ද්රෝණ බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. බුදුහු තෙල කරුණ වදාළහ:
හිසෙයින් ද්රෝණය, බ්රාහ්මණ බ්රාහ්මසම වෙයි යත්:
ද්රෝණයෙනි, මෙ ලොව්හි බමුණු මවුපසින් ද පියපසින් ද යන උභය පාර්ශ්වයෙන් සුජාත වෙයි. සත්වන පිතාමහයුගය තෙක් සුපිරිසිදු මවුකුස ඇතියේ ජාතිවාදයෙන් අක්ෂිප්ත වූයේ අනුපකෘෂ්ට වෙයි. හේ අටසාළිස් වසක් වේදමන්ත්ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස් වසක් කුමරබඹසර වැස මන්ත්ර හදාරා ඇදුරුහට ආචාර්ය්යධනය අධර්මයෙන් නොව ධර්මයෙන් ම සොයයි. ද්රෝණය, එහි (ආචාර්ය්යධනපර්ය්යෙෂණයෙහි) දු ධර්මය කවරේය යත්: කෘෂිකර්මයෙනුදු නො ම වෙයි. වණික් කර්මයෙනුදු නො ම වෙයි. ගෙරි රැක්මෙනුදු නො ම වෙයි. දුනුවාකමිනුදු නො ම වෙයි. රාජපුරුෂත්වයෙනුදු නො ම වෙයි. අන්යතර ශිල්පයෙකිනුදු නො ම වෙයි. හුදු භික්ෂාචර්ය්යායෙන් කබලට (අමත්රයට) අවමන් නො කරමින් වෙයි. හේ ඇදුරුහට ආචාර්ය්යධනය පවරා දී කෙස්මස් බහා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වෙයි. හේ මෙසෙයින් පැවිදි වූයේ ම විපුල වූ මෙත් සහගිය සිතින් එක් දිශාවක් අරමුණු කොට වාසය කරයි. එ සෙයින් දෙවන දිශාවද … එ සෙයින් තෙවන දිශාවද ... එ සෙයින් සතරවන දිශාවද ... මෙසේ උඩ යට සරස හැම තන්හි සර්වාත්මසමතායෙන් සියලු සත්ත්වයන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වෙසෙයි. කරුණා සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්ෂා සහගිය සිතින් එක් දිගක් අරමුණු කොට වාසය කරයි. එ සෙයින් දෙවන දිග ... එසෙයින් තෙවන දිග ... එසෙයින් සතර වන දිග ... මෙ සෙයින් උඩ යට සරස හැම තන්හි සර්වාත්මසමතායෙන් සියලු සත්ත්වයන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ අව්යාපාදයෙන් යුත් උපේක්ෂා සහගත සිතින් අරමුණු කොට වාසය කරයි. හේ මෙ සතර බඹවෙහෙර වඩා කාබුන් මරණින් මත්තෙහි සුගති සඞ්ඛ්යාත බ්රහ්මලෝකයට එළඹෙයි.
ද්රෝණය, මෙසෙයින් ම බ්රාහ්මණ (බ්රහ්සවිහාරධ්යානයුක්ත හෙයින්) බ්රහ්මසම වෙයි.