5. 4. 5. 10.
[නිස්සාරණීය සූත්රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, මේ නිස්සාරණීය ධාතුහු (නික්මීමෙහි - වෙන්වීමෙහි ධර්ම) පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි කාමයන් මෙනෙහි කරණ මහණහුගේ සිත කාමයන්හි නො බැසගන්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත (මිදුනේ) නො වන්නේ ය. (අශුභයෙහි ප්රථමධ්යාන සඞ්ඛ්යාත) නෛෂ්ක්රම්යය මෙනෙහි කරණ ඔහුගේ සිත එහි බැසගන්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනොවට අශුභභාවනාවට ගියේ සුභාවිත වූයේ කාමයන්ගෙන් මොනවට නැඟීසිටියේ කාමයන්ගෙන් මොනොවට මිදුනේ කාමයන් කෙරෙන් මොනවට විසංයුක්ත වූයේ වෙයි. කාමයන් හේතුකොට දුක් වූ පරිදාහ ඇති යම් ආස්රව කෙනෙක් උපදනාහු නම්, හේ ඔවුන්ගෙන් මුක්ත වෙයි. හෙ එ කාමවේදනා නො විඳුනේ ය. මෙ (අශුභධ්යානය) කාමයන්ගේ නිඃසරණය යි කියන ලද.
තවද මහණෙනි, ව්යාපාදය මෙනෙහි කරණ භික්ෂුහුගේ සිත ව්යාපාදයෙහි නො හෙයි. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. අව්යාපාදය මෙනෙහි කරණ ඔහුගේ සිත (මෛත්රීධ්යාන සඞ්ඛ්යාත) අව්යාපාදයෙහි පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ ඒ මෛත්රීධ්යාන චිත්තය මොනවට මෛත්රීධ්යානයට ගියේ සුභාවිත වූයේ මොනවට ව්යාපාදයෙන් නැඟී සිටියේ මොනවට අධිමුක්ත වූයේ ව්යාපාදයෙන් මොනවට විසංයුක්ත වෙයි. ව්යාපාදප්රත්යයයෙන් යම් දුඃඛපරිදාහකර ආස්රව කෙනෙක් උපදනාහු නම්, හෙ එයින් මුක්ත වෙයි. හෙ ඒ ව්යාපාදවේදනාව නො විඳුනේ ය. මෙ මෛත්රීධ්යාන ව්යාපාදනිඃසරණය යි කියන ලද.
තවද මහණෙනි, විහිංසාව මෙනෙහි කරණ භික්ෂුහුගේ සිත විහිංසායෙහි නො බස්නේ ය. එහි නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. (කරුණාධ්යාන සඞ්ඛ්යාත) අවිහිංසාව මෙනෙහි කරණ ඔහුගේ සිත කරුණාධ්යාන සඞ්ඛ්යාත අවිහිංසායෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. මොනවට කරුණාවට ගිය ඔහුගේ එ සිත සුභාවිතය. මොනවට නැඟී සිටියේ ය. සුවිමුක්ත ය. විහිංසායෙන් මොනවට විසංයුක්ත ය. විහිංසාප්රත්යයයෙන් දුඃඛපරිදාහකර යම් ආස්රව කෙනෙක් උපදනාහු නම්, හෙ ඔවුන්ගෙන් මුක්ත වයි. හෙ එ විහිංසා වේදනාව නො විඳුනේ ය. මේ කරුණාධ්යානය විහිංසාවගේ නිඃසරණය යි.
තවද මහණෙනි, රූපය මෙනෙහි කරණ භික්ෂුහුගේ චිත්තය රූපයෙහි නො බස්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. අරූපාරම්මණය මෙනෙහි කරණ ඔහුගේ සිත අරූපධ්යානයෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනවට අරූපධ්යානයට ගියේ සුභාවිත වූයේ මොනවට නැඟී සිටියේ සුවිමුක්ත වූයේ රූපයන්ගෙන් මොනවට විසංයුක්ත වෙයි. රූප ප්රත්යය කොට දුඃඛපරිදාහකර යම් ආස්රව කෙනෙක් උපදනාහු නම් , හෙ ඔවුන්ගෙන් මුක්ත වෙයි. හෙතෙම එ වේදනා නො විඳුනේ ය. මෙ අරූප ධ්යානය රූපයන්ගේ නිස්සරණය යි කියන ලද.
තවද මහණෙනි සත්කාය (පඤ්චෝපාදානස්කන්ධය) මෙනෙහි කරණ භික්ෂුහුගේ සිත සත්කායයෙහි නො බස්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. සත්කායනිරෝධය මෙනෙහි කරණ ඔහුගේ සිත සත්කායනිරෝධයෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනවට සත්කායනිරෝධයට ගියේ සුභාවිත වූයේ මොනොවට නැඟී සිටියේ සුවිමුක්ත වූයේ සත්කායයෙන් මොනවට විසංයුක්ත වෙයි. සත්කායප්රත්යයයෙන් දුඃඛපරිදාහකර යම් ආස්රව කෙනෙක් උපදනාහු නම්, හෙතෙම ඔවුන් කෙරෙන් මිදුනේ වෙයි. හෙ එ වේදනාව නො විඳුනේ ය. (අර්හත් ඵලසමාපත් සිත) සත්කායයාගේ නිඃසරණය යි කියන ලද.
ඔහුගේ කාමනන්දිය ද අනුශය (ඉපදීම) නො කෙරෙයි. ව්යාපාදනන්දිය ද අනුශය නො කෙරෙයි. විහිංසානන්දිය ද අනුශය නො කෙරෙයි. රූපනන්දිය ද අනුශය නො කෙරෙයි. සත්කායනන්දිය ද අනුශය නො කෙරෙයි. කාමනන්දිද අනුශය නො කිරීමෙන් ව්යාපාදනන්දි ද අනුශය නො කිරීමෙන් විහිංසානන්දි ද අනුශය නො කිරීමෙන් රූපනන්දි ද අනුශය නො කිරීමෙන් සත්කායනන්දිය ද අනුශය නො කිරීමෙන් මෙ මහණ අනුශය නැතියේ තෘෂ්ණාව මුලුසුන් කළේ යයි ද සංයෝජන මුලිනුදුරා ලූයේ යයි ද මැනවින් මානයාගේ ප්රහාණාභිසමයෙන් දුක් කෙළවර කෙළේයයි ද කියනු ලැබේ
මහණෙනි, මේ පඤ්චනිස්සාරණීය ධාතුහු යි.
සෝණවර්ගය පස්වැනි යි.
එහි උද්දානය:
සෝණ සූත්රය, ද්රෝණ සූත්රය, සඞ්ගාරව සූත්රය, කාරණපාලි සූත්රය, පිඞ්ගියානී සූත්රය, මහා සුපින සූත්රය, වස්සන්තරාය සූත්රය, සුභාසිතවාචා සූත්රය, කුල සූත්රය, නිස්සාරණීය සූත්රය දැයි දසයෙකි.
සතරවන පණ්ණාසකය සමාප්තයි.