5. 4. 4. 11.
[පත්තපිණ්ඩික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මේ පත්තපිණ්ඩිකයෝ (පාත්‍රසංඥා ඇතිව පිඬු පිළිගන්නෝ) පස් දෙනෙකි ... කවර පස් දෙනෙක් යත්:
මන්‍දභාවයෙන් මොමුහතායෙන් පත්තපිණ්ඩික වෙයි. ලාමකෙච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මඩනා ලදුයේ පත්තපිණ්ඩික වෙයි. උමතුයෙන් චිත්තක්‍ෂේපයෙන් පත්තපිණ්ඩික වෙයි. ‘බුදුන් විසින්’ බුදු සව්වන් විසින් පසස්නා ලදැ’යි පත්තපිණ්ඩික වෙයි. අල්පේච්ඡතාව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා ප්‍රවිවේකය ම නිසා ඉදමට්ඨිතාව ම නිසා (ධුතාඞ්ග වශයෙන්) පත්තපිණ්ඩික වෙයි. මහණෙනි, මෙ පඤ්ච පත්තපිණ්ඩිකයෝ ය.
මහණෙනි, මේ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙහි යම් පත්තපිණ්ඩිකයෙක් අල්පේච්ඡතාව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා පවිවේකය ම නිසා ඉදමට්ඨිතාව ම නිසා පත්තපිණ්ඩික වේ නම්, මෙ තෙම මෙ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි.
මහණෙනි, යම්සේ දෙනගෙන් කිරි ය, කිරියෙන් දිහි ය, දිහියෙන් වෙඬරු ය, වෙඬරුයෙන් ගිතෙල් ය, ගිතෙලින් පහන්ගිතෙල එහි අග්‍ර යයි කියනු ලැබේ නම්, මහණෙනි, එපරිද්දෙන් මේ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙන් යම් පත්තපිණ්ඩිකයෙක් අල්පේච්ඡතාව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා පවිවේකය ම නිසා ඉදමට්ඨිතාව ම නිසා පත්තපිණ්ඩික වේ නම්, මෙ තෙමේ මෙ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙහි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ යයි.
ආරඤ්ඤකවර්‍ගය සතරවැනි යි
එහි උද්දානය:
ආරඤ්ඤක සූත්‍රය, පංසුකූලික සූත්‍රය, පිණ්ඩපාතික සූත්‍රය, රුක්ඛමූල සූත්‍රය, සෝසානික සූත්‍රය, අබ්භොසික සූත්‍රය, නෙසජ්ජික සූත්‍රය, යථාසන්‍ථතික සූත්‍රය, ඒකාසනික සූත්‍රය, බලුපච්ඡාභන්තික සූත්‍රය, පත්තපිණ්ඩික සූත්‍රය දැ යි එකොළොසෙකි.
5. සෝණ වර්‍ගය
5. 4. 5. 1.
[සෝණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, මේ පැරණි බ්‍රාහ්මණධර්‍ම (බමුණු සිරිත්) පසෙක් මෙ කල්හි ශුනකයන් කෙරෙහි දක්නා ලැබෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො දක්නා ලැබෙයි. කවර පසෙක යත්:
මහණෙනි, පෙර බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක කරා ම යෙත්. අබ්‍රාහ්මණියක කරා නොයෙත්. මහණෙනි, මෙකල්හි බ්‍රාහ්මණයෝ බැමිණිය කරා ද යෙත්. නොබැමිණිය කරා ද යෙත්. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ශුනකිය වෙත ම යෙති. අශුනකිය වෙත නො යෙත්. මහණෙනි, මේ පළමුවැනි පැරණි වූ බ්‍රාහ්මණ ධර්‍මය දැන් ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණේ.
මහණෙනි, පෙර බමුණෝ ඔසප්වූ බැමිණිය වෙත ම යෙති, ඔසප් නො වූ බැමිණිය වෙත නොයත්. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ ඔසප් වූ බැමිණිය වෙත ද යෙති. ඔසප් නො වූ බැමිණිය වෙත ද යෙත්. මහණෙනි, මෙ වක්හි ශුනකයෝ ඔසප් වූ ම ශුනකිය වෙත යෙති. ඔසප් නොවූ ශුනකිය වෙත නො යෙත්. මහණෙනි, මේ පෞරාණ බ්‍රාහ්මණ ධර්‍මය මෙ වක්හි ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණේ.
මහණෙනි, පූර්‍වයෙහි බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක ගන්නෝ මිලදී නො ගනිති. දෙන්නෝ නො ම විකුණති. අන්‍යෝන්‍ය සත් (විද්‍යමාන) ප්‍රේමයෙන් ම කුල පරම්පරාව ඝටනු පිණිස සංවාසය පවත්වති. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක මිලදී ද ගනිති, විකුණන්නාහු ද වෙති. අන්‍යෝන්‍ය සත්ප්‍රේම යෙනුදු කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. අසත්ප්‍රෙමයෙනුදු කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ශුනකියක මිලදී නො ම ගනිති. නොම විකුණති. අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් ම කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. මහණෙනි, මේ තෙවන පෞරාණ බ්‍රාහ්මණ ධර්‍මය මෙ කල්හි ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණෙයි.
මහණෙනි, පෙර බමුණෝ ධනය ද ධාන්‍යය ද රිදී ද රන් ද සන්නිධි (රැස්කොට තැබීම) නො කරත්. මහණෙනි, මෙ වක්හි බ්‍රාහ්මණයෝ ධනය ද ධාන්‍යය ද රිදී ද රන් ද සන්නිධි කරත්. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ධනය ද ධාන්‍ය ද රජත ද ජාතරූප ද සන්නිධි නො කරත්. මහණෙනි, මේ පැරණි බ්‍රාහ්මණධර්‍මය මෙ වක්හි බ්‍රාහ්මණයන් කෙරෙහි නොව ශුනකයන් කෙරෙහි මැ දෘශ්‍යමාන වෙයි.
මහණෙනි, පෙර බ්‍රාහ්මණයෝ සායමාශ (සවස කෑම) සඳහා සවස්හි දු ප්‍රාතරාශය (උදය කෑම) සඳහා උදාසන්හි දු භික්‍ෂා සොයා ඇවිදුනාහ. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ කැමති තාක් කුස් පුරා අහර වළඳා අවශේෂය රැගෙණ යෙති. මහණෙනි, මෙකල්හි ශුනකයෝ සායාහනයෙහි සායමාශය සඳහා ද උදාසන්හි ප්‍රාතරාශය සඳහා ද සොයා ඇවිදුනාහ. මහණෙනි, මේ පස්වන පැරණි බ්‍රාහ්මණධර්‍මය මෙ වක්හි ශුනකයන් කෙරෙහි දෘශ්‍යමාන වෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි දෘශ්‍යමාන නො වෙයි.
මහණෙනි, මේ පැරණි බමුණුදහම් පස මෙ කල්හි ශුනකයන් කෙරෙහි දෘශ්‍යමාන වෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි දෘශ්‍යමාන නොවේ යයි.