5. 4. 3. 5.
[උපාසකචණ්ඩාල සූත්රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත උපාසක, උපාසක-චණ්ඩාල ද උපාසකමල ද උපාසකප්රතිකෘෂ්ට (උපාසක පිළිකුල) ද වෙයි. කවර පසෙකින් යත්:
ශ්රද්ධා නැත්තේ වෙයි. දුශ්ශීල වෙයි. කොතුහලමඞ්ගලික (සුබනිමිති බලනු) යෙක් වෙයි. කර්මය නො ව මඞ්ගලය අදහයි. මෙ සස්නෙන් බැහැර දක්ෂිණාර්හයකු සොයයි. එහිදු පූර්වකාර කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත උපාසක, උපාසකචණ්ඩාල හා උපාසකමල හා උපාසක ප්රතිකෘෂ්ට හා වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත උපාසක, උපාසකරත්න හා උපාසකපද්ම හා උපාසකපුණ්ඩරීක හා වෙයි. කවර පසෙකින් යත්:
ශ්රද්ධා ඇතියේ වෙයි. සිල්වත් වෙයි. කොතුහලමඞ්ගලික නො වෙයි. මඞ්ගලය නො ව කර්මය නහමයි. මෙ සස්නෙන් බැහැර දක්ෂිණාර්හයකු නො සොයයි. මෙහිදු පූර්වකාර කරන්නේ ය.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත උපාසක, උපාසකරත්න ද උපාසකපද්ම ද උපාසකපුණ්ඩරික ද වේ ය යි.
5. 4. 3. 6.
[පීති සූත්රය]
[සැවැත්නිදාන යි]
26. එ කල්හි අනාථපිණ්ඩික ගෘහපති පන්සියක් පමණ උපාසකයන් විසින් පිරිවරණ ලදුයේ භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
ගෘහපති, තෙපිදු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් බික්සඟුන් වටනහු ය. ගෘහපතිය, එ පමණෙකින් ම තුෂ්ටිය කළමනා නො වේ. “අපි බික්සඟුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකරින් වටම්හ” යි.
එහෙයින් ගෘහපතිය, මෙ කරුණෙහි ලා මෙසේ හික්මියයුතු යි: “කිනම් උපායෙකින් අපි කලින් කල (ප්රථම-ද්වීතීයධ්යානික) ප්රීතිය ලබා වසමෝ දැ?” යි. ගෘහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ:
“වහන්ස, ආශ්චර්ය්ය ය! වහන්ස, අද්භූත ය!! වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් මෙය සුභාෂිතය ම ය: ගෘහපතිය, තෙපිදු බික්සඟුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් වටනහු ය. ගෘහපතිය, “අපි චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාරයෙන් බික්සඟුන් වටම්හ” යන එපමණෙකින් ම තුෂ්ටිය නො කළමනා ය. ගෘහපතිය, එ හෙයින් මෙ කරුණෙහි ලා මෙසෙයින් හික්මිය යුතු යි: කවර උපායෙකින් අපි කලින් කල ප්රවිවේකප්රීතිය ලබා වාසය කරමෝ දැ? යි. ගෘහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ” යි.
වහන්ස, යම් කලෙක ආර්ය්යශ්රාවක ප්රවිවේක (ප්රථම- ද්වීතීයධ්යානික) ප්රීතිය ලබා වෙසේ නම්, එ සමයෙහි ඔහට කරුණු පසෙක් නැත:
කාමයන් ඇරැබැ උපදනා යම් දුක්දොම්නසෙක් වේ නම්, ඒ සමයෙහි ඔහුට එ ද නැත. කාමෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එ සමයෙහි ඔහුට එ ද නැත. අකුශලෝපසංහිත වූ යම් දුක් දොම්නසෙක් වේ නම්, එසමයෙහි ඔහට එ ද නැත. අකුශලෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එසමයෙහි ඔහට එ ද නැත. කුශලොපසංහිත යම් දුක්දොම්නසෙක් වේ නම්, එ ද ඔහට එ සමයෙහි නැත.
වහන්ස, යම් කලෙක ආර්ය්යශ්රාවක ප්රවිවේක ප්රීතිය ලබා වාසය කෙරේ නම්, මෙ පස් දහම්හු එ සමයෙහි ඔහට නො වෙත් යයි.