3. උපාසක වර්‍ගය
5. 4. 3. 1.
[සාරජ්ජ සූත්‍රය]
21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. “වහන්ස” යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක ශාරද්‍යයට (බියට) බටුයේ වෙයි. කවර පසෙකින් යත්:
පණිවා කරණුයේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසාවා කියනුයේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙර බොනුයේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක ශාරද්‍යයට බටුයේ වේ.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක විශාරද වෙයි. කවර පසෙකින් යත්:
පණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදනින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහරින් වැළකියේ වෙයි. මුසවායෙන් වැළකියේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙරින් වැළකියේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක විශාරද වේ ය යි.
5. 4. 3. 2.
[විසාරද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක අවිශාරද වූයේ ගිහි ගෙයි වාස කරයි. කවර පසෙකින් යත්:
පණිවා කරන්නේ වෙයි ... මද පමා දෙකට කරුණු රහමෙර පානය කරන්නේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක අවිශාරද වූයේ ගිහිගෙහි වසයි.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක විශාරද ව ගිහිගෙහි වසයි. කවර පසෙකින් යත්:
පණිවායෙන් වැළකියේ වෙයි ... මද පමා දෙකට කරුණු රහමෙරින් වැළකියේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක විශාරද වූයේ ගිහිගෙහි වෙසේ ය යි.
5. 4. 3. 3.
[නිරය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උවසු ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි උපදනේ වෙයි. කවර පසෙකින් යත්:
පණිවා කරන්නේ වෙයි, ... මදපමා දෙකට කරුණු වූ රහමෙර පානය කරන්නේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උවසු ගෙණවුත් බහා තබන ලද්දක් යම්සේ නම්, එසේ නිරයෙහි උපදනේ වේ.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උවසු ගෙණවුත් බහා තැබුවක් යම්සේ නම්, එසෙයින් ස්වර්‍ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
පණිවායෙන් වැළකියේ වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසෙකින් සමන්‍වාගත උවසු ගෙණවුත් බහා තබන ලද්දක් යම් සේ නම්, එසෙයින් ස්වර්‍ගයෙහි උපදනේ වේ ය යි.
5. 4. 3. 4.
[වෙර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළෝ:
ගැහැවිය, භය පසක් හා වෛර පසක් හා ප්‍රහීණ නො කිරීමෙන් දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. නිරයට ද පැමිණේ. කවර පසෙක යත්:
පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසාවා ය, මද පමා දෙකට කරුණුවූ රහමෙර යැ යි.
ගැහැවිය, මෙ භය පස හා වෛර පස හා ප්‍රහීණ නො කිරීමෙන් දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. නිරයට ද පැමිණේ.
ගැහැවිය, භය පසක් හා වෛර පසක් හා ප්‍රහීණ කිරීමෙන් සිල්වත් ය යි කියනු ලැබේ. සුගතියට ද එළඹේ. කවර පසෙක යත්:
පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසාවා ය, මද පමා දෙකට කරුණු වූ රහමෙර යි.
ගැහැවිය, මෙ භය පස හා වෛර පස හා ප්‍රහීණ කොට සිල්වත් යයි කියනු ලැබේ. සුගතියට ද එළඹේ ය යි.