5. 4. 3. 6.
[පීති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
26. එ කල්හි අනාථපිණ්ඩික ගෘහපති පන්සියක් පමණ උපාසකයන් විසින් පිරිවරණ ලදුයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
ගෘහපති, තෙපිදු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් බික්සඟුන් වටනහු ය. ගෘහපතිය, එ පමණෙකින් ම තුෂ්ටිය කළමනා නො වේ. “අපි බික්සඟුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකරින් වටම්හ” යි.
එහෙයින් ගෘහපතිය, මෙ කරුණෙහි ලා මෙසේ හික්මියයුතු යි: “කිනම් උපායෙකින් අපි කලින් කල (ප්‍රථම-ද්වීතීයධ්‍යානික) ප්‍රීතිය ලබා වසමෝ දැ?” යි. ගෘහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
“වහන්ස, ආශ්චර්‍ය්‍ය ය! වහන්ස, අද්භූත ය!! වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය සුභාෂිතය ම ය: ගෘහපතිය, තෙපිදු බික්සඟුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් වටනහු ය. ගෘහපතිය, “අපි චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙන් බික්සඟුන් වටම්හ” යන එපමණෙකින් ම තුෂ්ටිය නො කළමනා ය. ගෘහපතිය, එ හෙයින් මෙ කරුණෙහි ලා මෙසෙයින් හික්මිය යුතු යි: කවර උපායෙකින් අපි කලින් කල ප්‍රවිවේකප්‍රීතිය ලබා වාසය කරමෝ දැ? යි. ගෘහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ” යි.
වහන්ස, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේක (ප්‍රථම- ද්වීතීයධ්‍යානික) ප්‍රීතිය ලබා වෙසේ නම්, එ සමයෙහි ඔහට කරුණු පසෙක් නැත:
කාමයන් ඇරැබැ උපදනා යම් දුක්දොම්නසෙක් වේ නම්, ඒ සමයෙහි ඔහුට එ ද නැත. කාමෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එ සමයෙහි ඔහුට එ ද නැත. අකුශලෝපසංහිත වූ යම් දුක් දොම්නසෙක් වේ නම්, එසමයෙහි ඔහට එ ද නැත. අකුශලෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එසමයෙහි ඔහට එ ද නැත. කුශලොපසංහිත යම් දුක්දොම්නසෙක් වේ නම්, එ ද ඔහට එ සමයෙහි නැත.
වහන්ස, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේක ප්‍රීතිය ලබා වාසය කෙරේ නම්, මෙ පස් දහම්හු එ සමයෙහි ඔහට නො වෙත් යයි.
ශාරීපුත්‍රයෙනි, මැනැවැ! මැනැවැ!! ශාරීපුත්‍රයෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේකප්‍රීතිය ලබා වෙසේ නම්, ඔහට එ සමයෙහි පස් දහම් කෙනෙක් නො වෙති:
කාමෝපසංහිත වූ දුක්දොම්නසෙක් වේ නම්, එ සමයෙහි ඔහට එ ද නො වෙයි. කාමෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, ඔහට එ සමයෙහි එ ද නො වෙයි. අකුශලෝපසංහිත වූ යම් දුක්දොම්නසෙක් වේ නම්, එ ද ඔහට එ සමයෙහි නො වෙයි. අකුශලෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එ ද එ සමයෙහි ඔහට නො වෙයි. කුශලොපසංහිත වූ යම් දුක්දොම්නසෙක් මේ නම්, එ සමයෙහි ඔහට එ ද නො වෙයි.
ශාරීපුත්‍රයෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේක ප්‍රීතිය ලබා වෙසේ නම්, ඔහට එ සමයෙහි මේ පඤ්චකාරයෝ නො වෙත් ය යි.
5. 4. 3. 7.
[වණිජ්ජා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, උවසුහු විසින් අකරණීය (නොකටයුතු) මෙ වෙණෙදම් පසෙකි. කවර පසෙකින් යත්:
ශස්ත්‍රවාණිජ්‍ය (සත්ත්‍ව හිංසා පිණිස වූ අවි වෙළෙඳාම) ය, සත්ත්‍වවාණිජ්‍ය (වහල් වෙළෙඳාම) ය, මාංසවාණිජ්‍ය (මස් පිණිස සතුන් වෙළෙඳාම) ය, මද්‍යවාණිජ්‍ය (මත්පැන් හා මාදක ද්‍රව්‍ය වෙළෙඳාම) ය, විෂවාණිජ්‍ය (වස වෙළෙඳාම) යි.
මහණෙනි, උවසුහු විසින් නො කටයුතු මේ වෙණෙදම් පස යි.
5. 4. 3. 8.
[රාජ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරිස් පණිවා හැරපියා පණිවායෙන් දුරු වූයේ වේ යයි රජහු තෙල පුඟුල් ගෙණ පණිවා විරමණහේතුයෙන් නසති හෝ බඳිති හෝ තොප රටින් නෙරති හෝ යම් මැ රිසි දැයක් කෙරෙති හෝ යි තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ” යි. වහන්ස, තෙල කරුණ නැත් මැ ය. මහණෙනි, මැනැවි, මා විසිනුදු මහණෙනි, “මේ පුරිස්පණිවා හැරපියා පණිවායෙන් වැළැකියේ වේ ය”යි රජහු තෙල පුඟුල් ගෙණ පණිවායෙන් වැළැකීම් හේතුයෙන් නසති හෝ (දඟගෙහිලා) බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමැති දැයක් කෙරෙති හෝ” යි තෙල කරුණ නොම දක්නා ලද, නො මැ අසන ලද.
තවද ඔහු විසින් කළ ඒ පාපකර්‍මය “මෙ පුරුෂ තෙම ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ දිවියෙන් තොර කළැ” යි එසේ ම දන්වති. රජවරු එ පුඟුල්හු අල්වාගෙන ප්‍රාණඝාතහේතුයෙන් නසන්නාහු හෝ බඳනාහු හෝ රටින් නෙරනාහු හෝ යම් මැ රිසි වූ දැයක් කරන්නාහු හෝ වෙති. මෙ වැන්නක් තොප විසින් දකිනා ලද විරූ හෝ අසන ලද විරූ හෝ ඇත් දැ? යි. වහන්ස , අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් වෙයි. ඇසෙන්නේත් වේ ය යි.