5. 4. 2. 7.
[චෝදනා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
17. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මහණුන් ඇමැතූ සේක ...
ඇවැත්නි, පරහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් ධර්‍ම පසක් තමා කෙරෙහි එළවා මෙරමා චෝදනා කළ යුත්තේ ය. කවර පසෙක යත්:
අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් කියනෙමි, ද්වේෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි.
ඇවැත්නි, පරහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මෙ කරුණු පස තමා කෙරෙහි එළවා අන්‍යයා චෝදනා කළ යුත්තේ ය.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු නිසි කල්හි නො ව අකාලයෙහි චෝදනා කරණු ලබන කිපියහු දක්මි. භූතයෙන් නො ව අභූතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, මොළොකින් නො ව පරොස්බසින් චෝදනා කරණු ලබන කිපියහු, අර්‍ත්‍ථසංහිතයෙන් නො ව අනර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, මෛත්‍රීසහගතචිත්තයෙන් නො ව ද්වේෂසහගතචිත්තයෙන් චෝදනා කරණු ලබන කිපියහු දක්මි.
ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා ලද මහණහට පස් අයුරෙකින් අවිප්‍රතිසාරය ඉපැදවිය යුත්තේ ය:
ආයුෂ්මත් කාලයෙන් නො ව අකාලයෙන් චූදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් භූතයෙන් නො ව අභූතයෙන් චූදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් මොළොකින් නොව පරොස් බසින් චුදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් අර්‍ත්‍ථසංහිතයෙන් නො ව අනර්‍ත්‍ථසංහිතයෙන් චුදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් මෙත්සිතින් නො ව ද්වේෂසහගත චිත්තයෙන් චුදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි.
ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා ලද භික්‍ෂුහට මෙ කරුණ පසින් අවිප්‍රතිසාරය ඉපැදවිය යුතු යි.
ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා කරණ මහණහට කරුණු පසෙකින් විප්‍රතිසාරය දැනැවිය යුතු.
ඇවැත්නි, තොප විසින් නිසි කල්හි නො ව අකාලයෙහි (හේ) චූදිත වෙයි. එ තොපගේ විප්‍රතිසාරයට නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් භූතයෙන් නො ව අභූතයෙන් (හේ) චූදිත වෙයි. එ තොපගේ විප්‍රතිසාරයට නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් මොළොකින් නො ව පරොසින් චූදිත වෙයි, තොපගේ විප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් අර්‍ත්‍ථසංහිතයෙන් නො ව අනර්‍ත්‍ථසංහිතයෙන් චුදිත වෙයි, තොපගේ විප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් මෙත්සිතින් නො ව ද්වේෂචිත්තයෙන් චුදිත වෙයි, එ තොපගේ විප්‍රතිසාරයට නිසි වෙයි.
ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා කරණ මහණහට මෙ පස්කරුණින් විප්‍රතිසාරයට දැනැවිය යුතු. එ කවර හෙයින යත්: අන් මහණෙක් ද (තව මහණකු) අභූතයෙන් චෝදනා කටයුතු කොට නො සිතනු පිණිසයි.
ඇවැත්නි, මම මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු අකාලයෙහි නො ව කාලයෙහි චෝදනා කරණු ලබන කිපියහු දක්මි. අභූතයෙන් නො ව භූතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, පරොස් බසින් නො ව මෙළොකින් චෝදනා කරණු ලබන කිපියහු, අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, ද්වේෂචිත්තයෙන් නො ව මෛත්‍රීචිත්තයෙන් චෝදනා කරණු ලබන කිපියහු දක්මි.
ඇවැත්නි, ධර්‍මයෙන් චෝදිත භික්‍ෂූහට පස් අයුරෙකින් විප්‍රතිසාරය දැනැවිය යුතු:
ආයුෂ්මත් අකාලයෙහි නො ව කාලයෙහි චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිසි වෙයි. ආයුෂ්මත් අභූතයෙන් නො ව භූතයෙන් චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිසි වෙයි. ආයුෂ්මත් පරොසින් නො ව මොළොකින් චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිස්ස. ආයුෂ්මත් අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිස්ස. ආයුෂ්මත් ද්වේෂචිත්තයෙන් නො ව මෙත්සිතින් චොදිතයෙහි, තොපගේ විප්‍රතිසාරට එ නිස්සැයි.
ඇවැත්නි, ධර්‍මයෙන් චෝදිත භික්‍ෂුහට මෙ කරුණු පසින් විපිළිසර දැනැවිය යුතු.
ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරණ මහණහට කරුණු පසෙකින් අවිප්‍රතිසාරය දැනැවිය යුතු යි:
ඇවැත්නි, තොප විසින් (හේ) අකාලයෙහි නො ව කාලයෙහි චෝදිත වෙයි, තොපගේ අවිප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් අභූතයෙන් නො ව භූතයෙන් චෝදිත වෙයි, තොපගේ අවිප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් පරොසින් නො ව මොළොකින් චෝදිත වෙයි, තොපගේ අවිප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් චෝදිත ය, තොපගේ අවිප්‍රතිසාරයට එ නිස්ස. ඇවැත්නි, තොප විසින් ද්වේෂචිත්තයෙන් නො ව මෙත්සිතින් චෝදිත ය, තොපගේ අවිප්‍රතිසාරයට එ නිස්සැයි.
ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරණ මහණහට මෙ කරුණු පසින් අවිප්‍රතිසාරය දැනැවිය යුතු ය. එ කවර හෙයින යත්: යම් හෙයෙකින් අන් මහණෙක් ද (තව මහණකු) භූතයෙන් චෝදනා කටයුතු කොට හඟනේ වේ නම්, එහෙයිනි.
ඇවැත්නි, චෝදනා ලත් පුඟුල්හු විසින් සත්‍යයෙහි ද අකෝප්‍යයෙහි ද යන ධර්‍ම දෙකෙහි පිහිටිය යුතු ය. ඇවැත්නි, අන්‍යයෝ ඉදින් මට ද කාලයෙහි වේව යි, අකාලයෙහි වේව යි, භූතයෙන් වේව යි, අභූතයෙන් වේව යි, මොළොකින් වේව යි, පරොසින් වේව යි, අර්‍ත්‍ථසංහිතයෙන් වේව යි, අනර්‍ත්‍ථසංහිතයෙන් වේව යි, මෛත්‍රීචිත්තයෙන් වේව යි, ද්වේෂචිත්තයෙන් වේව යි චෝදනා කරත් නම්, මම ද සත්‍යයෙහි ද අකෝප්‍යයෙහි ද යන ධර්‍ම දෙක්හි පිහිටන්නෙමි:
“ඉදින් තෙල ධර්‍මය මා කෙරෙහි ඇතැයි දන්නෙම් නම්, ‘තෙල ධර්‍මය මා කෙරෙහි ඇතැ’යි එය ඇතිසේ කියමි. ඉදින් තෙල ධර්‍මය මා කෙරෙහි නැතැයි දනිම් නම්, ‘තෙල ධර්‍මය මා කෙරෙහි විද්‍යමාන නො වේ’ යයි එය නැතිසෙ කියමි.”
එතෙකුදු වුව ශාරීපුත්‍රය, තොප විසින් මෙසේ කියනු ලබන්නාහු මෙහි ඇතැම් තුච්ඡපුරුෂ කෙනෙක් එය පැදකුණු කොට (ඇදුරු කොට) නො ගන්නාහ යි.