5. 4. 2. 8.
[සීල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
18. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මහණුන් ඇමැතූහ ... ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුශ්ශීලයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධි විපන්න (වියුක්ත) යාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිබ්බිදාවිරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
ඇවැත්නි, යම්සේ නට අතුකොළ ඇති රුකෙක් වේ නම්, එහි පිට පොතු ද වැඩුමට නො යේ. සිවිදු වැඩුමට නො යේ. බොරුදු වැඩුමට නොයේ. සාරයත් වැඩුමට නො යේ. ඇවැත්නි, එසෙයින් ම ශීලවිපත්තියට පත් දුශ්ශීලයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිබ්බිදාවිරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශන සම්පන්නයාගේ නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
ඇවැත්නි, යම්සේ අතුපතරින් ගැවසීගත් රුකෙක් වේ නම්, එහි පිටපොතුත් වැඩුමට යේ. සිවිදු වැඩුමට යේ. බොරුදු වැඩුමට යේ. සාරයදු වැඩුමට යේ. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ ය යි.
5. 4. 2. 9.
[ඛිප්පනිසන්ති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
19. එ කල්හි ආයුෂ්මත් අනද තෙරණුවෝ සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළකළහ:
ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මහණ කෙතෙක් කරුණින් කුශලධර්‍මයෙහි වහා රුකුළුකන් ඇති වේ ද, සුගෘහීත කොට ගන්නා සුලුයේත් වේ ද, බොහෝ කොට ගන්නේත් වේ ද? ඔහු විසින් ගන්නා ලද දැය විස්මෘතත් නො වේ දැ? යි.
“ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බහුශ්‍රැතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරුනට ම තෙල වැටහේව” යි. එසේ වී නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, අසනු මැනැවි, මනා කොට මෙනෙහි කළ මැනැවි, කියමි යි.
‘ඇවැත්නි, එසේ ය’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ:
ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ අර්‍ත්‍ථයෙහි ද කුශල වෙයි. පාළි ධර්‍මයෙහි ද කුශල වෙයි. නිරුක්ති වචනයෙහි ද කුශල වෙයි. ව්‍යඤ්ජන (පදභේද) යෙහි ද කුශල වෙයි. පූර්‍වාපරසන්‍ධානයෙහි (මුල අග ගැළපීමෙහි) ද කුශල වෙයි.
ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මෙ පමණෙකින් ම මහණ කුශලධර්‍මයෙහි වහා අසන්නේ (දරන්නේ) වෙයි. මොනවට උගන්නේ ද වෙයි. බොහෝ කොට ද ගන්නේ ය. ඔහු විසින් ගන්නා ලද දැය නො නස්නේ ය යි.
ආශ්චර්‍ය්‍යය ඇවැත්නි, අද්භූත ය ඇවැත්නි, ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් විසින් මෙය සුභාෂිත මැ යැ. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් මේ දහම් පසින් සමන්‍වාගත කොට “ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අර්‍ත්‍ථකුශලයහ, ධර්‍මකුශලයහ, නිරුක්තිකුශලයහ, ව්‍යඤ්ජනකුශලයහ, පූර්‍වාපරසන්‍ධානකුශලයහ”යි ධරම්හ.
5. 4. 2. 10.
[භද්දජී සූත්‍රය]
20. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වසන්නාහ. එ කල්හි ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් හා සමඟ සතුටුවූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවන්ට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ:
ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවනි, දර්‍ශනයන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? ශ්‍රවණයන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? සුඛයන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? සංඥාවන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? භවයන් කෙරෙහි කුමක් අග්‍ර වේ දැයි?
ඇවැත්නි, මෙරමා අභිභවා සිටි අනෙකක්හු විසින් අනභිභූත වූ ඒකාන්තයෙන් සියල්ල දක්නාවූ හැම දෙන සියවසයෙහි පවත්වන සුලු බ්‍රහ්මයෙක් ඇත. යමෙක් එ බ්‍රහ්මයා දක්නේ වේ නම්, මෙය දර්‍ශනයන් කෙරෙහි අග්‍රය.
ඇවැත්නි, ආභාස්වර නම් වූ සුඛයෙන් පිරී පැතිර සිටුනා දෙවිකෙනෙක් ඇත. ඔහු ඇතැම් කලෙක “අහෝ සුඛ ය, අහෝ සුඛය ය”යි උදන් අනත්. යමෙක් එ හඬ අසා නම්, මෙය ශ්‍රවණයන් කෙරෙහි අග්‍ර ය.