2. ආඝාත වර්‍ගය
5. 4. 2. 1.
[පළමුවන ආඝාතපටිවිනය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, යම් අරමුණෙක්හි මහණක්හට උපන් ආඝාතය (ද්වේෂය) සර්‍වප්‍රකාරයෙන් දුරුකටයුතු වේ නම්, එබඳු වූ මේ ආඝාතපටිවිනය (උපාය) යෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය (ත්‍රික චතුෂ්කධ්‍යාන වශයෙන්) භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු යි.
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුඟුල් කෙරෙහි කරුණා භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු.
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුඟුල් කෙරෙහි උපේක්‍ෂාව (චතුර්‍ත්‍ථධ්‍යානවශයෙන්) වැඩිය යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, අසති අමනසිකාරය (නොසිහි නො මෙනෙහි කිරීම) එ පුද්ගලයා කෙරෙහි එළැවියැ යුතුයි. මෙසේ එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු යි.
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි කර්‍මස්වකතාව මෙනෙහි කළයුතු: “මේ ආයුෂ්මත් කර්‍මස්වක (කර්‍මය ස්වකීය කොට ඇත්තේ) කර්‍මදායාද (කර්‍මය විසින් දෙන ලද විපාක කොටස ගන්නේ) වෙයි. කර්‍මයෝනි (කර්‍මය ම හේතු කොට ඇත්තේ) වෙයි. කර්‍මබන්‍ධු වෙයි. කර්‍මප්‍රතිසරණ (කර්‍මය පිළිසරණ කොට ඇත්තේ) වෙයි. කලණ වේවයි ලමු වේවයි යම් ම කර්‍මයක් කෙරේ නම්, එයට දායාද (විපාක කොටස ගන්නෙක්) වන්නේ ය” යි. මෙසේ එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු යි.
මහණෙනි, යම් අරමුණෙක මහණහට උපන් ආඝාතය සර්‍වප්‍රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, මේ ඒ ආඝාතපටිවිනය පස යි.
5. 4. 2. 2.
[දෙවැනි ආඝාතපටිවිනය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. එ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘ඇවැත්නි’ යි එ මහණහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්හට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ තෙල කරුණ වදාළහ:
ඇවැත්නි, යම් අරමුණෙක භික්‍ෂූහට උපන් ආඝාතය සර්‍වප්‍රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, එ බඳු ආඝාතපටිවිනය පසෙකි. කවර පසෙක යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ වෙයි. ඇවැත්නි, මෙ බඳු පුඟුල් කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ පිරිසිදු කායසමාචාර ඇති වෙයි. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ, නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ වෙයි. කලින් කල ශමථවිදර්‍ශනා චිත්තයාගේ (ඉපදීමට අවකාශ යයි කියන ලද) විවරය හා පහන්බව හා ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේත්, නො පිරිසිදු වාක්සමාචාර ඇතියේත් වෙයි. කලින් කල චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශය හා චිත්තයාගේ ප්‍රසන්නභාවය නො ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් පිරිසිදු කායසමාචාර ඇතියේ ද, පිරිසිදු වාක්සමාචාර ඇතියේ ද වෙයි. කලින් කල චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශ හා චිත්තයාගේ ප්‍රසන්නභාවය හා ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ, පිරිසිදු වාක්සමාචාර ඇතියේ වේ නම්, කෙසේ එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු ය යත්:
ඇවැත්නි, යම්සේ පාංශුකූලික මහණෙක් වීථියෙහි මහලු පිළීකඩක් දැක වම්පසින් ඇක්ම දකුණුපසින් විදහා එහි යම් සාරයෙක් වේ නම්, එය ඉරාගෙණ යන්නේ වේ ද; ඇවැත්නි, එ පරිද්දෙන් ම යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ වේ නම්, එ කල්හි ඔහුගේ යම් නො පිරිසිදු කායසමාචාරතායෙක් වේ ද, එ මෙනෙහි නො කටයුතු. ඔහුගේ යම් පිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, එ කල්හි එ මෙනෙහි කටයුතු. මෙසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ, පිරිසිදු කායසමාචාර ඇතියේ නම්, එ පුද්ගලයා කෙරෙහි කෙසේ ආඝාතය දුරැලිය යුතු ය යත්:
ඇවැත්නි, යම්සේ සෙවෙල් හා පණකසෙවෙලින් වැකුණු පොකුණෙක් වේ නම්, එකල්හි ගිමින් තැවුනු ගිමින් මැඩුනු මඟ විඩාපත් වූ පවස් ඇති දියෙබානු කැමැති පුරුෂයෙක් එන්නේ වේ ද, හේ එ පොකුණට බැස දෑතින් සෙවෙල් හා පණක (නිල්වන් පත් - දිය පරැඬල්) සෙවෙල් ඔබමොබ පිහිරාපියා ඇදිලියෙන් (දොහොතින්) පැන් බී නික්මයන්නේ වේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම යම් පුද්ගලයෙක් නොපිරිසිදු වාක්සමාචාර ඇතියේ, පිරිසිදු කායසමාචාර ඇතියේ වේ ද, ඔහුගේ යම් නොපිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, එ කල්හි ඔහුගේ එ වාක්සමාචාරය මෙනෙහි නොකොට යුතු ය. ඔහුගේ යම් පිරිසිදු කායසමාචාරභාවයෙක් වේ නම්, එ සමයෙහි ඔහුගේ එ කායසමාචාරය මෙනෙහි කටයුතු. මෙසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.