5. 4. 2. 6.
[නිරෝධ සූත්රය]
[සැවැත්නිදාන යි]
16. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්ෂූන් ඇමැතූහ ...
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟී සිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්හත්ත්ව ය නො ලබන්නේ වේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා අන්යතර මනෝමය (ශුද්ධාවාස) කායකට පිළිසිඳ විසින් පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ යි.
මෙසෙයින් වදාරත් ම ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල කරුණ කීහ: “ආයුෂ්මත් ශාරීපුත්රයෙනි, තෙල හේතු රහිතය, වන්නට අවකාශ නැත. යම් කරුණෙකින් එ මහණ කවලීකාරාහාරය වළඳන (කාමාවචර) දෙවියන්ගේ සහභාවය ඉක්මවා අන්යතර මනෝමය (ශුද්ධාවාස) දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
දෙවන වට දු ... තෙවන වට දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්ෂූන් ඇමතූහ: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ වෙයි. ඉදින් හේ ඉහාත්මයෙහි ම අර්හත්වය සාක්ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්යතර මනෝමයදේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟී සිටුනේත් වෙයි යන තෙල කරුණ වේ යි.
[දෙවන වට දු ... ] තෙවන වට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත්තෙරුනට තෙල සැළකළහ: “ආයුෂ්මත් ශාරීප්රත්රයෙනි, තෙල හේතු රහිතය, අවකාශ රහිත ය. යම් කරුණෙකින් එ මහණ කවලීකාරාහාර වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්යතර මනෝමයදේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ නොවේ”යි.
එ කල ආයුෂ්මත් ශාරීපුත්ර තෙරනුහට තෙල සිත විය: “තෙවන වට දක්වාත් ආයුෂ්මත් උදායී තෙරණුවෝ මාගේ බස බැහැර කරත්. කිසිදු මහණෙක් මාගේ භාෂිතය අනුමෙව්නි නො කරයි. මම් භාග්යවතුන් වහන්සේ කරා යෙම් නම්, මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්ෂූන් ඇමැතූහ:
“ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්හත්ත්වය සාක්ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්යතර මනෝමය දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ”යි.
මෙසේ දෙසත් ම ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්ර තෙරුන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. යම් හෙයෙකින් එ මහණ කවලීකාරාහාරභක්ෂක දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්යතර මනෝමය දේවනිකායකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධයට සමවදනේත්, එයින් නැඟිසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
දෙවන වට දු ... තෙවන වට දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්ෂූන් ඇමතූහ: “ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්හත්ත්වය සාක්ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරභක්ෂක දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්යතර මනෝමය දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ”යි.
[දෙවන වට දු ...] තෙවන වට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත්තෙරුන්ට තෙල කරුණ කීහ: “ඇවැත්නි, ශාරීප්රත්රයෙනි, තෙල හේතුරහිත ය, ප්රත්යය රහිත ය. යම් හෙයෙකින් එ මහණ කවලීකාරාහාරභක්ෂක දෙවියන්ගේ සහවාසය ඉක්මවා ම අන්යතර මනෝමය දේව නිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්හට තෙල සිත් විය: “ආයුෂ්මත් උදායී භාග්යවතුන් වහන්සේ හමියෙහිදු තෙවන වට දක්වා මාගේ බසට ප්රතික්රෝශ කෙරෙයි. කිසි ද මහණෙක් මා බස අනුමෙවෙනි නො කෙරෙයි. මම තුෂ්ණීම්භූත වෙම් නම් මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තුෂ්ණීම්භූත වූහ.
එ කල්හි භාග්යවතුන් වහන්සේ උදායී තෙරුන් ඇමතූසේක: උදායිනි, තෝ මනෝමය කාය කිමැයි හඟනාව? යි. වහන්ස, යම් අරූපී සංඥාමය දෙවි කෙනෙක් වෙත් නම්, උහු ය යි. උදායිනි, බාල වූ අව්යක්ත වූ තාගේ කථායෙන් කවර වැඩෙක? තො ද බිණිය යුතු කොට හඟිහි දැ? යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමැතූ සේක: ආනන්දය, ගර්හාවෙක් මැ නු! ස්ථවිර මහණකු වෙහෙසනු ලබනු (දැක නොසලකා) බලා හිඳුනාව!! ආනන්දය, වෙහෙසනු ලබන ස්ථවිර මහණ කෙරෙහි කරුණායෙකුදු නො වී!!!