5. 4. 2. 3.
[සාකච්ඡා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවත් මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූහ. ‘ඇවැත්නි’යි එ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කරුණ වදාළහ:
ඇවැත්නි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුන්ගේ සාකච්ඡාවට නිසි වෙයි. කවර පසෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ, තෙමේත් සිල්සපන් වෙයි, ශීලසම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, සමාධිසම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, ප්‍රඥා සම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිසම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි, විමුක්තිඥානදර්‍ශනසම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි.
ඇවැත්නි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුන්ගේ සාකච්ඡාවට නිසි වේ ය යි.
5. 4. 2. 4.
[සාජීව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...
ඇවැත්නි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුන්ට අලංසාජීව (සාජීවයට - සමග වාසයට නිසි) වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ ද ශීලසම්පන්න වෙයි, ශීලසම්පත්කථාව පිළිබඳ කළ (පුළුවුත්) ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, සමාධිසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, ප්‍රඥාසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි, විමුක්තිඥානදර්‍ශනසම්පත් කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි.
ඇවැත්නි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අලංසාජීව (ප්‍රඥාප්තශික්‍ෂාපදයෙහි සභාගවෘත්තික) වේ යයි.
5. 4. 2. 5.
[පඤ්හපුච්ඡා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...
ඇවැත්නි, යම් කිසිවෙක් මෙරමා පැන පුළුවුස්නේ වේ නම්, එ හැම කරුණු පසෙකින් හෝ ඔවුනතුරෙන් අන්‍යතරයෙකින් හෝ වෙයි. කවර පසෙකින යත්:
මන්‍දභාවයෙන් මූඨභාවයෙන් මෙරමා පැන පුළුවුස්නේ ය. ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මඩනා ලදුයේ මෙරමා පැන පුළුවුස්නේ ය. පරිභව කරණුයේ මෙරමා පැන පුළුවුස්නේ ය. දැනගණු කැමැත්තේ මෙරමා පැන පුළුවුස්නේ ය. නොහොත් “ඉඳින් මා විසින් ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ මැනැවින් විසඳා නම්, මෙසේ තෙල කරුණ මැනැව. ඉදින් මා විසින් ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ මනා කොට නො විසඳා නම්, මම ඔහට මනා කොට (පැන) විසඳමි”යි මෙ බඳු සිත් ඇතියේ මෙරමා පැන පුළුවුස්නේ ය.
ඇවැත්නි, යම් කිසිවෙක් මෙරමා ප්‍රශ්න පුළුවුස්නේ වේ නම්, එ හැම මෙ පස් කරුණින් හෝ තුලුන් කෙරෙහි අන්‍යතරයෙකින් හෝ පුළුවුස්නේ වෙයි.
ඇවැත්නි, මම වනාහි මෙ බඳු සිතැතියෙම් මෙරමා ප්‍රශ්න පුළුවුස්මි: “ඉදින් මා විසින් පැන පුළුවුස්නා ලදුයේ මැනැවින් විසඳා නම්, මෙසේ තෙල කරුණ මැනැවි. ඉදින් මා විසින් පැන පුළුවුස්නා ලදුයේ මනා කොට නො විසඳා නම්. මම ඔහට මනා කොට විසඳමි”යි.