5. 4. 2. 4.
[සාජීව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...
ඇවැත්නි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුන්ට අලංසාජීව (සාජීවයට - සමග වාසයට නිසි) වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ ද ශීලසම්පන්න වෙයි, ශීලසම්පත්කථාව පිළිබඳ කළ (පුළුවුත්) ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, සමාධිසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, ප්‍රඥාසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි, විමුක්තිඥානදර්‍ශනසම්පත් කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි.
ඇවැත්නි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අලංසාජීව (ප්‍රඥාප්තශික්‍ෂාපදයෙහි සභාගවෘත්තික) වේ යයි.
5. 4. 2. 5.
[පඤ්හපුච්ඡා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...
ඇවැත්නි, යම් කිසිවෙක් මෙරමා පැන පුළුවුස්නේ වේ නම්, එ හැම කරුණු පසෙකින් හෝ ඔවුනතුරෙන් අන්‍යතරයෙකින් හෝ වෙයි. කවර පසෙකින යත්:
මන්‍දභාවයෙන් මූඨභාවයෙන් මෙරමා පැන පුළුවුස්නේ ය. ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මඩනා ලදුයේ මෙරමා පැන පුළුවුස්නේ ය. පරිභව කරණුයේ මෙරමා පැන පුළුවුස්නේ ය. දැනගණු කැමැත්තේ මෙරමා පැන පුළුවුස්නේ ය. නොහොත් “ඉඳින් මා විසින් ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ මැනැවින් විසඳා නම්, මෙසේ තෙල කරුණ මැනැව. ඉදින් මා විසින් ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ මනා කොට නො විසඳා නම්, මම ඔහට මනා කොට (පැන) විසඳමි”යි මෙ බඳු සිත් ඇතියේ මෙරමා පැන පුළුවුස්නේ ය.
ඇවැත්නි, යම් කිසිවෙක් මෙරමා ප්‍රශ්න පුළුවුස්නේ වේ නම්, එ හැම මෙ පස් කරුණින් හෝ තුලුන් කෙරෙහි අන්‍යතරයෙකින් හෝ පුළුවුස්නේ වෙයි.
ඇවැත්නි, මම වනාහි මෙ බඳු සිතැතියෙම් මෙරමා ප්‍රශ්න පුළුවුස්මි: “ඉදින් මා විසින් පැන පුළුවුස්නා ලදුයේ මැනැවින් විසඳා නම්, මෙසේ තෙල කරුණ මැනැවි. ඉදින් මා විසින් පැන පුළුවුස්නා ලදුයේ මනා කොට නො විසඳා නම්. මම ඔහට මනා කොට විසඳමි”යි.
5. 4. 2. 6.
[නිරෝධ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
16. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟී සිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍ව ය නො ලබන්නේ වේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා අන්‍යතර මනෝමය (ශුද්ධාවාස) කායකට පිළිසිඳ විසින් පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ යි.
මෙසෙයින් වදාරත් ම ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල කරුණ කීහ: “ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, තෙල හේතු රහිතය, වන්නට අවකාශ නැත. යම් කරුණෙකින් එ මහණ කවලීකාරාහාරය වළඳන (කාමාවචර) දෙවියන්ගේ සහභාවය ඉක්මවා අන්‍යතර මනෝමය (ශුද්ධාවාස) දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
දෙවන වට දු ... තෙවන වට දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ වෙයි. ඉදින් හේ ඉහාත්මයෙහි ම අර්‍හත්‍වය සාක්‍ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමයදේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟී සිටුනේත් වෙයි යන තෙල කරුණ වේ යි.
[දෙවන වට දු ... ] තෙවන වට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත්තෙරුනට තෙල සැළකළහ: “ආයුෂ්මත් ශාරීප්‍රත්‍රයෙනි, තෙල හේතු රහිතය, අවකාශ රහිත ය. යම් කරුණෙකින් එ මහණ කවලීකාරාහාර වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමයදේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ නොවේ”යි.
එ කල ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරනුහට තෙල සිත විය: “තෙවන වට දක්වාත් ආයුෂ්මත් උදායී තෙරණුවෝ මාගේ බස බැහැර කරත්. කිසිදු මහණෙක් මාගේ භාෂිතය අනුමෙව්නි නො කරයි. මම් භාග්‍යවතුන් වහන්සේ කරා යෙම් නම්, මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ: