5. 4. 2. 2.
[දෙවැනි ආඝාතපටිවිනය සූත්රය]
[සැවැත්නිදාන යි]
12. එ කල්හි ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්ෂූන් ඇමැතූ සේක. ‘ඇවැත්නි’ යි එ මහණහු ආයුෂ්මත් ශාරීපුත්ර තෙරුන්හට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ තෙල කරුණ වදාළහ:
ඇවැත්නි, යම් අරමුණෙක භික්ෂූහට උපන් ආඝාතය සර්වප්රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, එ බඳු ආඝාතපටිවිනය පසෙකි. කවර පසෙක යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ වෙයි. ඇවැත්නි, මෙ බඳු පුඟුල් කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ පිරිසිදු කායසමාචාර ඇති වෙයි. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ, නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ වෙයි. කලින් කල ශමථවිදර්ශනා චිත්තයාගේ (ඉපදීමට අවකාශ යයි කියන ලද) විවරය හා පහන්බව හා ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේත්, නො පිරිසිදු වාක්සමාචාර ඇතියේත් වෙයි. කලින් කල චිත්තයාගේ ශමථවිදර්ශනාවකාශය හා චිත්තයාගේ ප්රසන්නභාවය නො ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් පිරිසිදු කායසමාචාර ඇතියේ ද, පිරිසිදු වාක්සමාචාර ඇතියේ ද වෙයි. කලින් කල චිත්තයාගේ ශමථවිදර්ශනාවකාශ හා චිත්තයාගේ ප්රසන්නභාවය හා ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ, පිරිසිදු වාක්සමාචාර ඇතියේ වේ නම්, කෙසේ එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු ය යත්:
ඇවැත්නි, යම්සේ පාංශුකූලික මහණෙක් වීථියෙහි මහලු පිළීකඩක් දැක වම්පසින් ඇක්ම දකුණුපසින් විදහා එහි යම් සාරයෙක් වේ නම්, එය ඉරාගෙණ යන්නේ වේ ද; ඇවැත්නි, එ පරිද්දෙන් ම යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ වේ නම්, එ කල්හි ඔහුගේ යම් නො පිරිසිදු කායසමාචාරතායෙක් වේ ද, එ මෙනෙහි නො කටයුතු. ඔහුගේ යම් පිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, එ කල්හි එ මෙනෙහි කටයුතු. මෙසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.
ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ, පිරිසිදු කායසමාචාර ඇතියේ නම්, එ පුද්ගලයා කෙරෙහි කෙසේ ආඝාතය දුරැලිය යුතු ය යත්:
ඇවැත්නි, යම්සේ සෙවෙල් හා පණකසෙවෙලින් වැකුණු පොකුණෙක් වේ නම්, එකල්හි ගිමින් තැවුනු ගිමින් මැඩුනු මඟ විඩාපත් වූ පවස් ඇති දියෙබානු කැමැති පුරුෂයෙක් එන්නේ වේ ද, හේ එ පොකුණට බැස දෑතින් සෙවෙල් හා පණක (නිල්වන් පත් - දිය පරැඬල්) සෙවෙල් ඔබමොබ පිහිරාපියා ඇදිලියෙන් (දොහොතින්) පැන් බී නික්මයන්නේ වේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම යම් පුද්ගලයෙක් නොපිරිසිදු වාක්සමාචාර ඇතියේ, පිරිසිදු කායසමාචාර ඇතියේ වේ ද, ඔහුගේ යම් නොපිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, එ කල්හි ඔහුගේ එ වාක්සමාචාරය මෙනෙහි නොකොට යුතු ය. ඔහුගේ යම් පිරිසිදු කායසමාචාරභාවයෙක් වේ නම්, එ සමයෙහි ඔහුගේ එ කායසමාචාරය මෙනෙහි කටයුතු. මෙසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.